-
ස්වයංපෝෂිත වී නිශ්පාදනය බිඳ දමලා රටේ හාල් අවශ්‍යතාවයෙන් සියයට 53ක් ආනයනය කරලා ආහාර හිඟයක් නෑ කියන්න ලජ්ජා නැද්ද?
රජය මේ ගත් ප්‍රතිපත්තිය අනුව ආහාර හිඟයක් ඇතිවන බවට අමුතු අටුවා ටීකා අවශ්‍ය නොවන බවත්, රට ස්වයංම්පෝෂි වී වගාව අනතුරේ හෙළා රටේ හාල් අවශ්‍යතාවයෙන් සියයට පනස් තුනකට වැඩි ප්‍රමාණයක් ආනයනය සඳහා ගන්නා උත්සාහයෙන්ම එය පැහැදිලි වන බවත් පේරාදෙණිය විශ්විද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ ලංකාසරට පැවසීය.
“කොහෙන් හෝ ගෙනත් කන්න දෙන එක ආණ්ඩුවෙ වගකීම තමයි. නමුත් තිබ්බ දේ විනාශ කරලා කොහෙන් හරි ගෙනත් කන්න දෙන එක හරි මදි. මේ උත්සාහය ලජ්ජා සහගතයි“
මහාචාර්යවරයා එසේ ප්‍රකාශ කළේ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහාචාර්ය බුද්ධි මාරඹේ ඉලක්ක කරගෙන පෙරේදා නුවර දී කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි.
කෘෂිකර්ම ඇමතිවරයා නුවරදී කීවේ රසායනික පොහොර සමාගමක අධ්යක්ෂ ධුරයක් දරන පේරාදෙණිය විශ්විද්‍යාලයේ මහාචාර්යවරයෙක් ආහාර හිඟයක් ගැන බොරු පතුරුවමින් සිටින බවය.
මහාචාර්ය බුද්ධි මාරඹේ මේ සම්බන්ධව පිළිතුරු ලබා දෙමින් ලංකාසරට මෙසේ ද කීවේය.
“රජය මේ ගත්ත ප්‍රතිපත්තිය අනුව ආහාර හිඟයක් එන බව අමුතුවෙන් අටුවා ටීකා ඇතිව කියන්න අවශ්‍ය වෙන්නෙ නෑ . ඒකට හේතුව දැනට රජය විසින් මියන්මාරයෙන් හාල් ටොන් ලක්ෂ තුනක් ආනයනය කරන්න අවසර දීලා තියනවා වගේම වෙළඳ අමාත්‍යතුමා ඉල්ලීමක් කරලා තියනවා චීනයෙන් හාල් ටොන් ලක්ෂ දහයක් ආනයන කිරීමට. මේ දෙක විතරක් ගත්තත් හාල් ටොන් ලක්ෂ 13ක් වෙනවා.
අපේ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් ටොන් 23 -24 ප්‍රමාණයක්.. ඒ වගේ ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. අපට මේ ටික ගණන් හදලා බැලුවහම පමණක් අපේ අවශ්‍යතාවයෙන් සියයට පනස් හතරකට වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීමේ උත්සාහය රජය දැනටමත් අරන් තියනවා.
මීටත් වඩා වැඩි විස්රතයක් සාධකයක් අවශ්‍ය වෙන්නෙ නෑ අපේ රටේ සහල් හිඟයක් ඇතිවෙනවා කියලා.
ලංකාව වී ගොවිතැනින් ස්වයම්පෝෂිත රටක්ව තිබුණා. රටේ ගොවි ජනතාව අභිමානයෙන් යුතු ගොවියන් විදිහට රටේ කටයුතු කළා. ඒ සියල්ලක්ම නැති කරලා ඒ අස්වැන්නත් නැති කරලා ආනයනය කරන ආහාරවලින් රටේ ආහාර හිඟයක් නෑ කියලා කියන්න උත්සාහ කිරීම ලජ්ජා සහගතයි.
රජයක් ලෙස කන්න දෙන එක හරි තමයි මොන විදිහට හරි. තිබ්බ දේ නැති කරලා ගෙනත් කන්න දෙන එක හරි නෑ.







