රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමි කාරිණියවන තිලිණි ප්‍රියමාලිට ගොනුකර තිබූ සියළු නඩුවලට අදාළව මේ වනවිට ඇප හිමිව තිබුණත්, එම ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඇය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවන බව වාර්තා වේ.
.තිළිණි ප්‍රියමාලිට එරෙහිව අධිකරණයේ නඩු 9 ක් විභාග වූ අතර ඉන් අටකට මීට පෙර ඇප නියම වී තිබිණි.
අද විභාගයට ගැනුණේ මෙතෙක් ඇප නොලැබී තිබුනු අමෙරිකානු ඩොලර් සහ ඕස්ට්‍රේලියානු ඩොලර් ලබාගෙන ඒ සඳහා සහතිකයක් ලෙස ලබාදුන් චෙක්පත් අගරුවීමේ සිද්ධියකට නඩුවය. එම නඩුව තිළිණි ප්‍රියමාලිට සහ ජානකී සිරිවර්ධනට එරෙහිව ගොනු වී තිබිණි.
අද දිනයේදී එම නඩුව කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේදී කැඳවනු ලැබුවේය. නඩුව සඳහා සැකකාරියන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගැනුණි.
නඩු විභාගයේ දී මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මත ඇය මුදා හැරීමට නියෝග කළේය. එහිදී ඇපකරුවන්ගේ පදිංචි සහතික, වත්කම් සහතික ඉදිරිපත් කළ යුතු බව ද ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරමින් ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යැවිය යුතු බවට ද නියෝගයක් නිකුත් කෙරිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම සිද්ධියට අදාළව විමර්ශන බොහෝ දුරට අවසන් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තවත් ප්‍රකාශයක් පමණක් ලබා ගැනීමට නියමිතව ඇති බවත්ය.
මෙහිදී අගරු වූ චෙක්පත් සඳහා ගෙවීමක් සිදු කරන්නේද යන්න අධිකරණය විසින් තිලිණි ප්‍රියමාලිගේ නීතිඥවරුන්ගෙන් විමසුවේය. එය ආයෝජනයකට සම්බන්ධ කටයුත්තක් බැවින් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඇයගෙන් ඒ සම්බන්ධව විමසා අධිකරණයට දැන්වීමට බලාපොරොත්තුවන බව පවසා තිබිණි.
සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද ඇප නියමකරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එළැඹෙන ජනවාරි මස 11 වැනිදා නඩුව යළි කැඳවීමට නියමිතය.







