කීර්ති ප්‍රනාන්දු –
ගෑස් , කුකුල් මස්, ෆාම් ඔයිල්, පොල්තෙල්, සඳහා රජය පැය 72 ක් තුළ පාලන මිලක් නියම නොකළහොත් අනිවාර්යයෙන්ම ආහාර මිල වැඩි කිරීමක් සිදුකරන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසයි .
එසේම සහල් සඳහා පනවා ඇති පාලන මිල නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව පවසන සභාපතිවරයා සහල් මාෆියාව මෙන්ම පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ගේ මාෆියාවද නැවැත්විය යුතු යැයි තරයේ කියා සිටියි .
අද (09) දින තම සංගමය ඇතුළු තවත් සංගම් කීපයක් එක්ව පාරිභෝගික සේවා අධිකාරිය සමඟ මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සිදු කරන බවද සභාපතිවරයා පැවසීය .
මෙම සාකච්ඡාවේදී ගෑස් සමාගම් විසින් අසාධාරණ ලෙස ගෑස් මිල වැඩි කිරීම වැළැක්වීමට ගෑස් සඳහා පාලන මිලක්ද , පොල්තෙල්, ෆාම් ඔයිල්, කුකුළු මස් , සඳහා පාලන මිලක් ද පැනවීමට කටයුතු කරන ලෙස ඉල්ලා මෙම සාකච්ඡාව සිදුකරන බවද සභාපතිවරයා කීවේය.
මෙම ද්‍රව්‍ය වල මිල පාලනකින් තොරව වැඩි කිරීම නිසා තම කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි වී ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාවෙන් පසුව පැය 72 ක් තුළ පාරිභෝගික සේවා අධිකාරිය හෝ අදාළ අමාත්‍යාංශය තම ඉල්ලීම්වලට ක්‍රියාත්මක නොවුනහොත් බ්‍රහස්පතින්දා දින සිට අනිවාර්යයෙන්ම සහල් ආශ්රිත ආහාර සහ පිටි ආශ්රිත ආහාර කීපයක මිල ඉහළ දමන බව සභාපතිවරයා කීවේය.
මෙම මිල ඉහළ දැමීම කිරීමට සිදුවුවහොත් අනිවාර්යයෙන්ම සාමාන්‍ය බත් පැකැට්ටුව මෙන්ම ප්‍රයිඩ් රයිස් , බුරියානි, නාසිගුරාන් , කොත්තු , ඇතුළු තවත් ආහාර කිහිපයක මිල වැඩිවීම සිදුකරන බවත් එයින් අපහසුතාවයට පත්වන පාරිභෝගික ජනතාවගෙන් සමාව අයදින බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.







