විදුලි බල පනත සංශෝධනයට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් මහාචාර්ය උදයංග හේමපාල පවසන්නේ ඒ සඳහා සමාලෝචනයක් ආරම්භ කර ඇති බවය.
ඒ අනුව පනතේ සිදුවිය යුතු වෙනසකම් පිළිබඳ විදුලිබල වෘත්තීය සමිති නියෝජිතයන්ගේ අදහස් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවද ලේකම්වරයා කියයි.
රටට හා විදුලිබල මණ්ඩලයට හානියක් නොවන පරිදි එහි උපරිම කාර්යක්ෂමතාව ලබා ගැනීම සඳහා පනත මගින් ප්‍රතිපාදන සැලසෙන පරිදි නව සංශෝධන ගෙනඒමට නියමිත බව අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.
ලේකම්වරයා අවධාරණය කරන්නේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ රටට ඵලදායී ලෙස සිදුකරන ලෙසට විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවය.
ඒ අනුව පනතට සිදුකරන සංශෝධන නව පාර්ලිමේන්තුවේ දී සම්ම්ත කරගැනීමට නියමිත බව ඔහු පැවසුවේය.
මේ වසරේ ජූලි මස 06 වැනිදා විදුලිබල පනත සම්මත වූ අතර ඒ මගින් විදුලිබල මණ්ඩලය සමාගම් 12කට වෙන් කර සේවකයින් අනුයුක්ත කිරීමට ප්‍රතිපාදන සැලසුනේය.
කෙසේ වෙතත් විදුලිබල මණ්ඩල සේවක වෘත්තීය සමිති ඊට දැඩි විරෝධය දක්වමින් පැවසුවේ ඉන් විදුලිබල මණ්ඩලය විකුණා දැමීමට උත්සාහ ගනිමින් සිටින බවය.







