හැටන් රංජිත් රාජපක්ෂ
ආගරපතන හෙන්ෆොල්ඩ් වතුයායේ එල්.ජි කොටසේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු ත්‍රිරෝද රථයක පිටුපස තිබි පෙරේදා (10) හමු වු බිළිඳියගේ සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කළ පශ්චාත් මරණ පරික්ෂණයේ දී බිළිඳිය ඉපදුණු විටම වයරකින් ගෙල සිර කර ඝාතනය කර ඇති බවට තහවුරු වී ඇති බව ආගරපතන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර පැවසීය.
ඉකුත් (10) දින එම වතුයායේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු ත්‍රිරෝද රථයකින් දුගන්ධයක් හැමීම සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථයේ රියදුරුගේ මව විසින් පරික්ෂා කර බැලිමේදී ත්‍රිරෝද රථයේ පිටුපස තිබු පොලිතින් බැගයක් තුළ කුඩා බිළිදියගේ සිරුරක් තිබෙන බවට දැක තිබිණි

එය දැකීමෙන් පසු ඇය කැගසමින් අසල්වාසින්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දිමෙන් පසු අසල්වාසින් විසින් ඒ බැව් ආගරපතන පොලිසියට දැනුම් දී ඇත.
සිරුර සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථයේ රියදුරු වූ 28 හැවිරිදි එක්දරු පියෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදි එය මාවනැල්ල ප්‍රදේශයේ සිට තම වතුයායට පැමිණි කාන්තාවකගේ පාර්සලයක් බව පවසා තිබේ.
අනතුරුව 24 හැවිරිදි සැකකාර කාන්තාවද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි සැකකාර රියදුරු සහ තමන් අතර තිබු අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් බිළිඳිය මෙලොවට බිහි වු බවට ඇය පවසා ඇත.
ඉකුත් (05) දින තමන් සේවය කල මාවනැල්ල ප්‍රදේශයේ නිවසේදි බිළිඳිය මෙලොවට බිහි වු බවත්, එම නිවසේ සේවය කරන තම සොහොයුරියගේ සහය ඇතිව බිළින්දියගේ ගෙල සිර කර ඝාතනය කර සිරුර සැඟවීම සදහා ත්‍රිරෝද රථ රියදුරා සමග ආගරපතන ප්‍රදේශයට රැගෙන පැමිණි බවත් සැකකාර කාන්තාව පොලිසිය පාපොච්චාරණය කර ඇත.
අළුයම් කාලයේ සිරුර වල දැමීමට සැලසුම් කර තිබුණද ඊට පෙර තම මව සිරුර දැක අසල්වාසින්ට දැනුම් දීම නිසා සිරුර වල දැමීමට නොහැකි වු බව ත්‍රිරෝද රථයේ රියදුරාද පොලිසියට පාපොච්චාරණය කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සැකකාර රියදුරා සහ සැකකාරිනිය (12) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය පැවසීය.
සැකකාරියගේ සොහොයුරියද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇතැයි ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන ආගරපතන පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.







