ධර්මය විකෘතින්හි සහ ශාසනික විකෘතීන්හි යෙදෙමින් පටු ලාභ අපෙක්ෂාවෙන් උතුම් සද්ධර්මය විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම නෛතික ප්‍රතිපාදන සකස් කරන ලෙසත් මේ අන්තවාදී සංවිධානාත්මක සිදුවීම් හුදකලාකොට නොසලකා ලාංකීය සමාජය තුළ සිදුකරන ධර්ම විකෘතීන් හා ශාසන විකෘතීන් පිළිබඳ පුළුල් ලෙස සලකා කටයුතු කරන ලෙසත් ත්‍රෛනිකායික මහා නායක හිමිවරු ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටිති.
උන්වහන්සේලා මෙම ඉල්ලීම කරනු ලබන්නේ මේ වනවිට කැළණියේ දී තමන් අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් ලෙසින් හඳුන්වා දෙමින් බෞද්ධ ජනතාව නොමග යවා බෞද්ධ දාර්ශනික හර පද්ධතීන් විනාශ කිරීමට කටයුතු කරන පුද්ගලයාගේ හැසිරීම සහ බෞද්ධ දේශනාවන් සාවද්‍ය ලෙස විස්තර කරමින් අසරණ මහ ජනයා නොමග යවා සදාකාලික සැප ලබා ගැනීම සඳහා සිය දිවි නසා ගැනීමට පෙළඹවූ පුද්ගලයා නම්කොට උදාහරණ දක්වමිනි.
මින් පෙරද විවිධ පුද්ගලයින් චිරාගත භික්ෂු භූමිකාවට හානි කරමින් බුද්ධ චරිතය විකෘති කිරීම, බෞද්ධ ජනතාවගේ වන්දනීයත්වයට පාත්‍ර වූ පූජනීය වස්තු පිළිබඳව නිග්‍රහාත්මක ප්‍රකාශ කිරීම වැනි අන්තවාදී සමාජ කැළඹීම්වලට තුඩු දෙන ප්‍රකාශකරමින් සිදුකිරීමට ගිය ව්‍යසනය තමන් වහන්සේලාට නිරීක්ෂණය වූ බව ද මහා නායක හිමිවරු ප්‍රකාශ කරති.
එම සෑම සිදුවීමක් පිටුපසම අන්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මක වුන බවත්, ඇතැම් අන්තවාදී සංවිධාන මගින් එවැනි පුද්ගලයින්ට සුවිසල් මූල්‍යමය දායකත්වයක් ලබා දුන් බවත් උන්වහන්සේලා පෙන්වා දෙති.
එබැවින් බෞද්ධ මහා ජනතාව නොමග යවමින්, සමාජ කැළඹීම් ඇති කිරීමට උත්සාහ කරන පුද්ගලයින් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීම හා එවැනි ප්‍රකාශ ප්‍රවර්ධනය කිරීම නියාමනය කිරීමට නෛතික ප්‍රතිපාදන සම්පාදනය කිරීම කාලීන අවශ්‍යතාවයක් බව උන්වහන්සේලා ජනාධිපතිවරයාට අවධාරණය කරති.
එම නිවේදනය පහත දැක්වේ.








