කොටුගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් ලක්ෂ දෙක හමාරක මුදලක් අල්ලසක් ලෙස ලබා ගනිමින් සිටිය දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර රාජපක්ෂගේ වැඩ තහනම් කිරීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත විසින් පියවර ගෙන ඇත.
මේ වනවිට මෙම පොලිස් නිලධාරියා ඉන්නේ රක්ෂිත බන්ධනාගාරයේ ය.
ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන ලෙස කටයුතු කර ඇති බැවින් එම ක්‍රියාව සෙසු නිලධාරීන්ට වැරදි පූර්වාදර්ශයක් වන නිසා ඉකුත් 25 වෙනිදින සිට ක්‍රියාත්මක වන පරිදි චූදිත නිලධාරියාගේ රාජකාරී වැඩ තහනම් කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අත්සනින් නිකුත් කළ ලිපියේ සඳහන්ය.
වෙනත් පුද්ගලයකු විසින් සොරකම් කරන ලද රන් මාලයක් අදාල කොටුගොඩ ව්‍යාපාරිකයා විසින් මිලදී ගෙන ඇති බව පවසා එය අධිකරණයට ඉදිරිපත් කර නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 3 ක මුදලක් හා රන් පවුම් 3/4 ක් ඉල්ලා එයින් රුපියල් 250,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඉකුත් 25 වෙනිදින ගම්පහ තක්ෂිලා විද්‍යාල ඉදිරිපිට මාර්ගයේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගනු ලැබීය.







