තමන් ව්‍යාජ ලෙස ඉංජිනේරු නාමය අවභාවිතා කළ ඉංජිනේරු උපාධිය නොමැති පුද්ගලයෙක් බවට සයිබර් අවකාශය පුරා වාර්තා කරමින් සාපරාධී අපහාස කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දන්වා සිය ඉංජිනේරු උපාධි සහතිකයත්, ඊට ආවරණ ලිපියක් ලෙස පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ලේඛකාධිකාරීවරයා විසින් ලබා ගත් උපාධිය සහතික කිරීමේ ලිපියකුත් සහිත පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණ විදුලි බල හා බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි අද (16) පැමිණිල්ලක් ගොනු කළේය.
ඔහු අද ප්‍රකාශ කළේ විපක්ෂය ප්‍රචාරය කළ ලෙසම තමන් ඉංජිනේරුවරයෙක් නොවන බව ඔප්පු කළහොත් ඒ මොහොතේ සිට දේශපාලනයෙන් ද සමුගන්නා බවය.
තමන්ට පමණක් නොව 34 දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අන්තර්ගතයන් සම්බන්ධ ගැටලු ඇති බව කී අමාත්‍ය කුමාර ජයකොඩි අද අධිකරණ ඇමතිවරයා මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කළ බව පෙන්වා දුන්නේය.
තමන් විශ්වාස කරන පරිදි මේ දියත්ව ඇත්තේ සැලසුම් සහගත සාපරාධී ක්‍රියාවක් බවය. මේ කිසිවක් රජයක් ලෙස සැහැල්ලුවෙන් නොගන්නා බව ඇමතිවරයා අවධාරණය කළේ සිය උපාධි සහතිකය මාධ්‍යයටද ඉදිරිපත් කරමිනි.
පරිගණ අපරාධ විමර්ශන ඒකකයට පැමිණි අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.
“සමාජ මාධ්‍ය ජාලා විසින් සහ පුවත්පත් විසින් ජාතික ජන බලවේගයේ තනතුරු දරන ඇමතිවරුන්ගේ සුදුසුකම පරීක්ෂා කිරීමේ සහ ඒ පදනම් කරගෙන අපහාස කිරීමේ ලොකු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ අනුව දවස් කීපයක සිට ඉඳන් මගේ ඉංජිනේරු වෘත්තිය ගැන සහ මට උපාධියක් නැති බව කියමින් මා වෙත දිගින් දිගටම අපහාස කරනවා .”
“අපි පක්ෂයක් විදිහට තීරණය කළා පරාජිත දේශපාලකයින්ගේ අසාර්ථක ව්‍යාපෘති රටට හෙළි කරන්න. මගේ උපාධි සහතිකයත් මම රැගෙන ආවා. මම ඉංජිනේරුවෙක් කියලා මට බය නැතිව කියන්න පුලුවන්. අපි වෘත්තියෙන් ද සුදුසුකම්වලින් ද අපේ වෘත්තීය භාවය සම්පූර්ණ කරලා තියනවා. ඒ අනුව මම අද පැමිණිල්ලක් කරනවා පරිගණක අපරාධ විමර්ශන අංශයට මේ ගැන හොයා බලලා මේ බොරු පතුරුවමින් ජනතාව මුලා කරන අය ගැන සොයා බලන්න කියලා. සමහර අය ජනතාව මුලා කරලා රටින් පැනලා ගිය අය. ඒ අය ගැන හොයලා බලලා ඒ ගැන කටයුතු කරන්න කියලා.”
“මොකද අපි වංචා කරලා ඇවිල්ලත් නෑ. බොරු සුදුසුකම් පෙන්නලා ඇවිල්ලත් නෑ. මොකද මගේ විතරක් නෙමෙයි… 34 දෙනෙකුගේ සුදුසුකම් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇතුළත් වී ඇති ආකාරය සම්බන්ධව ගැටලුවක් ඇති වී තිබෙනවා. මෙය යම් සැලසුමක් ද කියන සැකයක් පහළ වෙලා තියනවා. අපි අලුත් වුනාට මෙතන පාර්ලිමේන්තුවෙ ඉන්න ගොඩක් අය පළපුරුදු අය. තිස් ගණනක වැරදි වෙලා තියනවා නම් ඒක ලොකු දෙයක්. හිටපු මැතිවරණ කොමසාරිස් තුමාත් මම ගැනත් සඳහන් කරලා තියනවා. මම පාර්ලිමේන්තුවට දීලා තියෙන්නෙ උපාධි අපේක්ෂකයෙක් කියලාලු. මට වැරදිලාවත් එහෙම වෙන්නේ නෑ. මම උපාධිය අරන් තියෙන්නෙ මීට අවුරුදු විසි ගණනකට කලින්. උපාධි සහතිකය දැන් මගේ අතේ තියනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රෙජිස්ට්‍රාට කියලත් මම ඒක තහවුරු කරගත්තා. මම ඉංජිනේරු ආයතනයේත් සමාජිකයෙක්. මටත් හිතනවා මේක සැලසුම් සහගතව පරාජය දරාගන්න බැරි දේශපාලකයින්ගේ අසාර්ථක ව්‍යාපෘතියක් කියලා.”
“ඒක ජනතාවට තහවුරු කරන එක අපේ වගකීමක්. මොකද අපි ජනතාවට බොරු කියලවත් බොරු කරලාවත් නෑ. මේවා දඬුවම් කරන්න ඕන වරදවල්. බොරු නම් වලින් පිටරට ජිවත් වෙමින් තමයි මේ වැරදි කරන්නෙ. අපි මේ සියලු දේ නීතියට භාර කරනවා. අපි හිතනවා නීතියෙන් සාධාරණය ඉෂ්ඨ වේවි කියලා. ”
” මම ඉංජිනේරු කෑල්ල පාවිච්චි කළේ ඉංජිනේරු ප්‍රජාවගේ ඉල්ලීම මත. මට කවදාවත් කෑලි ඉස්සරහට දාලා බැබලෙන්න ඕන වුනේ නෑ. අපි සාමාන්‍ය ජිවිත ගතකළ මිනිස්සු. අපි මේක සරලව ගන්නේ නෑ. මම ඉංජිනේරුවෙක් කියලා ඔප්පු කරන්න බැරි වුනොත් මම දේශපාලයෙනුත් අයින් වෙනවා. ඉදිරියේදී අපේ අභියෝග ඉදිරිපත් කරනවා විපක්ෂයට. අපි කියනවා ඒ අයගේ අධ්‍යා සහිතකත් ඉදිරිපත් කරන්න කියලා. එතකොට රටට මේක හොඳට තේරෙයි.” කුමාර ජයකොඩි පැවසුවේය.







