මනම්පිටිය නිමල් ජයරත්න –
හොර හරක් ජාවාරම් කර අධිකරණය මගහැර සිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර ඇති වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ දේපළ තහනම් කිරීමට පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේය.
පොලිස් පරීක්ෂකවරයෙකුවන සැකකරු අසනීප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැරව ගොස් ඇති බවට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කළ දැනුම්දීමට අනුව අධිකරණය මෙම පියවර ගනු ලැබීය.
ඒ අනුව වරෙන්තුකරුට අයත් සියලු නිශ්චල සහ චංචල දේපළ තහනම් කර අධිකරණය භාරයට ගැනීම සඳහාත්, ඔහු ශ්‍රී ලංකාව තුළ සහ ඉන්පිටත පවත්වාගෙන යන සියලු ගිණුම්වල පවතින තැන්පතු මුදල් තහනම් කර එම මුදල් අධිකරණය වෙත යොමු කරන ලෙස ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයාට නියෝග කරීමටත් වරෙන්තුකරුගේ ෙ විදේශ ගමන් තහනම් කිරීමටත් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
අප්‍රේල් 29 වනදා හෝ ඉන් පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද පොලිස් පරීක්ෂකවරයාට යළි නියෝග කෙරුණි.
ඕඅයිසී හරක් හොරා සම්බන්ධ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.
ඉකුත් වසරේ සැප්තැම්බර් මස බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටියදී කිරි ගවයන් 20 දෙනෙකු වැලිකන්ද පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේය. එවකට වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයාව සිටියේ පොලිස් පරීක්ෂක ආර්.එම්. රත්නායකය. ඔහු සැප්තැම්බර් මස 23 වනදා එම ගවයින් සහ ගවයින් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථය සහ සැකකරුවන් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා අදාළ කිරි ගවයින් 20 දෙනා රජයට අයත් සත්ත්ව ගොවිපලකට භාරදෙන ලෙස නියෝග කළේය.
පසුව අධිකරණයට නිර්නාමිකව ලිපියක් ලැබුණේය. ලිපියේ සඳහන්ව තිබුණේ අදාළ කිරි ගවයින් යළි ජාවාරම්කරුවන්ටම භාරදීමට එවක වැලිකන්ද පොලිස් ස්ථානාධිපති කටයුතු කර ඇති බවටය.
ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පෙළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කළේය. පොලිස්පතිවරයා එම විමර්ශන අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට භාර දී තිබුණි.
අනතුරුව සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පසුගියදා කටයුතු කළේය. එහෙත් සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන එවක වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්. රත්නායක අධිකරණයට ඉදිරිපත් කිරීමට විමර්ශන නිලධාරින්ට හැකිව තිබුණේ නැත.
ඒ අනුව සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉකුත් 11 වනදා නියෝගයක් නිකුත් කළේය. මේ වනවිට පුජාපිටිය පොලිසියට අනියුක්තව සේවය කරන ඔහු අසනීප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැර ගොස් තිබුණි.
අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේදීද සැකකාර පොලිස් පරීක්ෂක අධිකරණයේ පෙනී සිටියේ නැත. සැකකරු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තිය යටතේ කටයුතු කිරීමට පොළොන්නරුව අංක 02 මහෙස්ත්‍රාත් අන්වර් සදාක් නියෝග කළේය.
ඒ අනුව වරෙන්තුකරුට අයත් සියලු නිශ්චල සහ චංචල දේපළ තහනම් කර අධිකරණය භාරයට ගැනීම සඳහා නියෝග කෙරුනි.
එමෙන්ම ඔහු ශ්‍රී ලංකාව තුළ සහ ඉන්පිටත පවත්වාගෙන යන සියලු ගිණුම්වල පවතින තැන්පතු මුදල් තහනම් කළ අධිකරණය එම මුදල් අධිකරණය වෙත යොමු කරන ලෙස ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයාට නියෝග කළේය.
වරෙන්තුකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කෙරිණි.
අප්‍රේල් 29 වනදා හෝ ඉන් පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පොලිස් පරීක්ෂකවරයාට යළි නියෝග කෙරුණි.







