රට තුළ කිසිම ආකාරයක අක්ෂි කාච හිඟයක් නොමැති බවත් අක්ෂි සැත්කම් කිසිම ගැටලුවක් නොමැතිව සිදුවන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, රටේ අක්ෂි කාච හිඟයක් පවතින බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ සපුරා අසත්‍ය බවය.
“මේ වනවිටත් වෛද්‍ය සැපයුම් අංශයේ අක්ෂි කාච විවිධ වූ strength වලින් තියෙනවා. අපි සැත්කම් කරන්නේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් ඉන්න රෝහල්වල. විශේෂයෙන් ජාතික අක්ෂි රෝහලේ, ශික්ෂණ රෝහල්වලත් අනෙකුත් අක්ෂි ශල්‍ය වෛද්‍යවරු ඉන්න රෝහල්වලත් අපි හොයලා බැලුවා අක්ෂි ශල්‍යකර්ම සාමාන්‍ය විදියට සිදුවෙනවා. ශල්‍යකර්ම කල්දාලා නෑ.” සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.
පවතින අක්ෂි කාච තොග අනුවත් ඉදිරියට ඇණවුම් කර ඇති තොග අනුවත් කිසිසේත් අක්ෂි කාච හිඟයක් ඇති නොවන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක අවධාරණය කළේය.







