මනම්පිටිය නිමල් ජයරත්න
පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩ දමන ප්‍රදේශයේ මහවැලි ගංගා ඉවුරට දැඩි ලෙස හානි සිදුව ඇති බවත්,මනම්පිටිය මහවැලි පාලම යටින් ගං ඉවුර දැඩි ලෙස සෝදාපාළුවට ලක්වී ඇති බැවින් මෙම තත්ත්වය පිළිබඳ වහාම සොයා බලා කඩිනම් විසඳුම් ලබාගන්නා ලෙසත් ප්‍රදේශයේ පරිසරවේදීන් සහ මහජනතාව ඉල්ලා සිටිති.
දෙදහස් නමය වර්ෂයේදී ජපන් ආධාර මත ඉදිකර විවෘත කරන ලද මෙම පාලම යට සහ ඒ අසන්නයේ ගංගා ඉවුරට දැඩි ලෙස හානි වී ඇති බැවින් පාලම දැඩි අනාරක්ෂිතව ඇතැයි ද ඒ ගැන සොයාබැලීම ඉතා වැදගත් බව ද ප්‍රදේශවාසීහු පවසති.
නොවැම්බර් 27වෙනිදා සිට මේ දක්වාම මහවැලි ගංගාවේ මනම්පිටිය ප්‍රදේශයේ විශාල ජල කඳක් පැමිණෙන බවත්, උතුරු මැද පළාතත්, නැගෙනහිර පලාතත් යාකරන මනම්පිටිය සාම පාලමට යම් හානියක් සිදු වුවහොත් එම පළාත් දෙක අතර වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතරවන බවත්, විකල්ප මාර්ගයක් ලෙස ඇත්තේ මනම්පිටිය දුම්රිය මාර්ගය පමණක් බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
ඒ පිළිබඳ අවධානය යොමු කරමින් පරිසර අධ්‍යයනයක් සිදුකර ගංගාවට හා ඉවුරු වලට සිදුව ඇති හානිය සොයා බලා සාම පාලමට යම් අනතුරක් සිදුවීමට පෙර යම් පියවරක් ගන්නා ලෙස පොදුවේ ඔවුහු ඉල්ලති.
අප මේ පිළිබඳව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරී පාලිත උපුල් කුමාරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි සඳහන් කළේ, ඒ පිළිබඳ වහාම සොයා බලා තත්ත්වය පිළිබඳ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.







