මනම්පිටිය නිමල් ජයරත්න –
සත්ව පාලන හා වී වගා කටයුතුවලදී වනජීවී නිලධාරීන්ගෙන් එල්ල වන බලපෑම් වහාම නතර කර, තමන්ට ඉඩම් අයිතිය ලබාදෙන ලෙස බල කරමින් වැලිකන්ද ප්‍රදේශයේ ගම්මාන නවයක සිංහල, දෙමළ සහ මුස්ලිම් ගොවීහු වැලිකන්ද නගරයේදී දැවැන්ත විරෝධතාවක නිරත වූහ.
දීර්ඝ කාලයක සිට සත්ව පාලනය, වී වගාව, ධීවර කටයුතු සහ වේවැල් කැපීම වැනි ජීවනෝපාය මාර්ගවල නිරත වන තමන්ට, වනජීවී නිලධාරීන්ගෙන් නිරන්තරයෙන් එල්ල වන බාධා කිරීම් හේතුවෙන් ස්වයං රැකියා සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බව විරෝධතාකරුවෝ පවසති.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අතර පවතින මායිම් ගැටලුවක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත. පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සත්ව පාලන කටයුතු සඳහා වන ඉඩම් වහාම නිදහස් කරන ලෙස අදාළ නිලධාරීන්ට මීට පෙර උපදෙස් දී තිබුණද, බලධාරීන් මෙතෙක් එම තීරණ ක්‍රියාත්මක කර නොමැති බව ගොවි නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.
මෙම ගැටලුව හේතුවෙන් මුතුවැල්ල, කුඩාපොකුණ, කටුවන්විල, සේනපුර, මුතුගල, කරපොළ, තිව්චේන සහ මදුරංගල ඇතුළු ගම්මාන නවයක පවුල් 2,500කට අයත් 10,000කට ආසන්න පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටින බව කුඩාපොකුණ ගම්මානයේ ප්‍රජා ක්‍රියාකාරිකයෙකු වන එම්.එම්. රාෆික් ප්‍රකාශ කළේය.
වැලිකන්ද නගරයෙන් ආරම්භ වූ මෙම විරෝධතා පාගමන වැලිකන්ද මහවැලි ‘බී’ කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලය දක්වා ගමන් කළ අතර, එහි ප්‍රධාන ද්වාරයන් දෙකම අවහිර කරමින් පැය එකහමාරකට ආසන්න කාලයක් ගොවීහු එහි රැඳී සිටියහ.
වැලිකන්ද සහ මනම්පිටිය පොලිස් නිලධාරීන් පිරිසක්ද සාමය සුරැකීම සඳහා එම ස්ථානයට පැමිණ සිටි අතර, උසස් පොලිස් නිලධාරීන් මැදිහත් වී ගොවි නියෝජිතයින්ට මහවැලි ‘බී’ කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකරු හමුවීමට අවස්ථාව සලසා දෙන ලදී.
එහිදී දින පහක් ඇතුළත මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන බවට නේවාසික ව්‍යාපාර කළමනාකරු පොරොන්දු වූ බවත්, එම එකඟතාව මත විරෝධතාව අවසන් කිරීමට පියවර ගත් බවත් ගොවි නියෝජිතයෝ මාධ්‍ය වෙත වැඩිදුරටත් සඳහන් කළහ.






