ලක්විජය ගල්අඟුරු මිලදී ගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධයෙන්, ඉකුත් මැයි දින රැලියකදී කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා එම කොමිසම හමුවේ කනගාටුව පළ කර සමාව ගෙන තිබේ.
කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද සන්සේරි (නියෝග) පත්‍රයකට අනුව, ටිල්වින් සිල්වා තමන්ගේ නීතිඥවරුන් ද සමඟ කොමිසම හමුවේ පෙනී සිටි අතර, එහිදී තමන් කළ ප්‍රකාශය පිළිබඳව කනගාටුව පළ කරමින් දිවුරුම් ප්‍රකාශයක් ද ඉදිරිපත් කළේය.
ජාතික ජන බලවේගයේ රජයේ සාමාජිකයන් වැරදිකරුවන් නොකර නිදහස් කිරීමටත්, විපක්ෂයේ පිරිස් වැරදිකරුවන් කිරීමටත් මෙම කොමිෂන් සභාව කටයුතු කරනු ඇතැයි ටිල්වින් සිල්වා මැයි දින රැලියේදී ප්‍රකාශ කර තිබුණි. මෙම ප්‍රකාශය කොමිෂන් සභාවේ කටයුතුවලට කෙරෙන අනිසි බලපෑමක් සහ එහි ස්වාධීනත්වයට එල්ල වූ තර්ජනයක් බව නිරීක්ෂණය කිරීමෙන් පසුව, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා කැඳවීමට කොමිසම තීරණය කර තිබුණි.
කෙසේ වෙතත්, ටිල්වින් සිල්වා මෙම කරුණ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් සිය කනගාටුව ප්‍රකාශ කිරීම සලකා බැලූ ජනාධිපති කොමිෂන් සභාව, ඔහුට අවවාද කර මුදා හැරීමට තීරණය කළේය.
මෙම විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග කටයුතු කරන අතර, අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න එහි සාමාජිකයින් ලෙස කටයුතු කරති.
ශ්‍රී ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ රජයට අයත් ලංකා ගල් අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයන් විසින් විදුලිය උත්පාදනය කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතා හෝ නීතිවිරෝධී ක්‍රියා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉකුත් අප්‍රේල් 17 වැනිදා මෙම කොමිෂන් සභාව පත් කරන ලදී. ශ්‍රී ලංකාවේ ගල්අඟුරු ආශ්‍රිත විදුලි උත්පාදනය ආරම්භ කළ දින සිට 2026 අප්‍රේල් 16 වැනිදා දක්වා වූ කාල සීමාව මෙම විමර්ශනයට යටත් වේ.







