ශ්‍රී ලංකා ගුවන් ලයින්ස් හි හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ නීතිඥවරුන්වන ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්නට සහ ඔහුගේ කණිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම්ගේ ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (02) සිතාසි නිකුත් කළේය.
ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධව සාක්ෂි දීමට පැමිණෙන්නැයි නියෝග කරමිනි.
සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවීම අද (02) හත් වැනි දිනට අද කොළඹ මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ සිදුකෙරුනු අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් විය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහ අදාල නීතිඥවරුන් දෙදෙනාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසුරිය මින් පෙර අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔවුන් සාක්ෂි දීමට අධිකරණයට කැඳවීම අවශ්‍ය දැයි සලකා බලන ලෙසය.
අද නඩුව කැඳවූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ අපරාධ නඩු විධාන පනතේ 370/5 වගන්තිය ප්‍රකාරව සාක්ෂිකරුවන් දෙදෙනා සාක්ෂියට කැඳවීමට තීරණය කරන බවය.
ශ්‍රේෂ්ඨාධිකරණ රීති ප්‍රකාරව මිය ගිය පුද්ගලයා සහ නීතිඥවරු අතර හුවමාරු වූ අවවාද සහ තොරතුරු හෙළි නොකිරීමේ අයිතිය සාක්ෂිකරුවන්ට ඇති බව ද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
වැඩි දුර සාක්ෂි විමසීම මැයි මස 05 වැනිදා සිදුකිරීමට නියමිතය.







