අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් තමන්ට පැනවූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම සහ දඩයට එරෙහිව ශෂී වීරවංශ ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය විසින් අද (ජූනි 11) ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව ඇයට පනවා තිබූ වසර දෙකක සිරදඬුවම සහ රුපියල් ලක්ෂයක දඩය එලෙසම ක්‍රියාත්මක කිරීමට අධිකරණය නියෝග කළේය.
මෙම අභියාචන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සඳහන් කළේ, අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර දෙන ලද තීන්දුව සදොස් නොවන බැවින් එය ඒ අයුරින්ම ස්ථීර කරන බවය.
අදාළ චෝදනාවට වරදකරු කරමින් 2022 වසරේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබුණි. එම දඬුවම්වලින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් කොළඹ මහාධිකරණය වෙත මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු දීර්ඝ වශයෙන් සලකා බැලූ මහාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණයේ මුල් තීන්දුව සහ දඩය එලෙසම පවත්වා ගනිමින් අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.
ඇප පිට හිටි ශෂී වීරවංශ
ශෂී වීරවංශට බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවම නියම වන්නේ 2022 වසරේ මැයි 27 වැනිදා ය. එවකට කොළඹ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මෙම සිර දඬුවමක් නියම කළේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් අයුරින් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට ඇය වරදකාරිය කරමිනි. වරදකාරිය කරමින්ය.
දඬුවම් නියම කිරීමෙන් අනතුරුව විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තීන්දුව අභියෝගයට ලක් කරමින් අභියාචනයක් ඉදිරිපත් කළහ. විත්තිකාරිය තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ පදනම මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ 2022 මැයි මස 27 වන දිනම ඇප අයදුමක් ඉදිරිපත් කරනු ලැබුවාය.
විත්තිකාරියට පවතින නඩු හෝ පෙර වැරදි කිසිවක් නොමැති බවත් දඬුවමට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියායචනය විමසීම් සඳහා විශාල කාලයක් ගතවීම යන සුවිශේෂී කරුණු විත්තිකාරියගේ නීතඥයින් ඉදිරිපත් කළහ. එම කරුණු සලකා බලා ඇයව බන්ධනාගාරගත කර දින 04කින් ඇයව ඇප මත මුදා හරිනු ලැබුවේය.
ඒ අනුව විදේශ ගමන් තහනමක් පනවා රුපියල් 50,000ක මුදල් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02ක් මත විත්තිකාරිය මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
අද ලැබුණු මෙම තීන්දුවත් සමඟ අවිධිමත් විදේශ ගමන් බලපත්‍ර සිදුවීම සම්බන්ධයෙන් ශෂී වීරවංශ විසින් මහාධීකරණයේ ගෙන ගිය නීතිමය අභියෝගය අවසන් වන අතර, මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයට අනුව ඇය නියමිත සිරදඬුවම විඳිය යුතු වේ.









