-
විමර්ශන නිලධාරියා කරන අතාර්කික ප්‍රකාශ විනිසුරුවරයා විසින් ප්‍රශ්න කරයි… බුද්ධි නිලධාරියෙක් පොලිස්පතිට බලපෑම් කළා කියලා කියන්නේ පොලිස්පති හිටියේ කොට් එකක් ඇඳගෙන දැයි සලෙයි ගේ නීතිඥ අනුජ ප්‍රේමරත්න පැමිණිල්ලෙන් විමසයි…
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයිට එල්ලවන චෝදනා පාස්කු ඉරිදා ප්‍රහාරයට කෙලින්ම සම්බන්ධවන කරුණු බව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (11) ප්‍රකාශ කළේය.
මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම කරුණු රාජකාරිය පැහැර හැරීම හෝ වෙනත් කරුණු නොවන බවය. කෙසේ වෙතත් සුරේෂ් සලෙයිට එරෙහිව නඩු පැවරීම සඳහා විමර්ශකයින් විසින් ඉදිරිපත් කරනු ලබන සාක්ෂි ප්‍රමාණවත් ද නැද්ද යන්න අද දින ඉදිරිපත් කරන සාක්ෂි සම්පිණ්ඩන වාර්තා සහ ඉදිරියේ දී සිදුකරන විමර්ශන අනුව තීරණය කළ බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකළ විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරනු ලැබූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා මේ බව අවධාරණය කරනු ලැබුවේය.
2019 අප්‍රේල් 21 දින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 260කට අධික ප්‍රමාණයකට දිවි අහිමි වූයේය. ප්‍රහාරයෙන් පසු සත්‍ය හෙළිදරවු කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ පසුව ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවේය.
කොමිෂන් වාර්තාවෙන් නිරීක්ෂණය වූයේ ආරක්ෂක අංශවල නොසැලකිලිමත් භාවය සහ සම්බන්ධීකරණයේ ගැටලු සම්බන්ධයෙන් අපහැදිලි තත්ත්වයක් තිබුණ බවය.
අනතුරුව ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් කීප දෙනෙක් අත් අඩංගුවට ගෙන නඩු පවරා තිබිණි. ප්‍රහාරයට ආධාර උපකාර ලබා දුන් පුද්ගලයින් ට එරෙහිව දීර්ඝ නීතිමය ක්‍රියාවලියක් තවදුරටත් සිදුවන්නේය.
මෙම විමර්ශන කටයුතු පවත්වාගෙන යද්දී පාස්කු ඉරිදා ත්‍රස්ථ ප්‍රහාරය ගැන විමර්ශනයට අදාලව විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලෙයි අත් අඩංගුවට ගෙන දින රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් ඇත. හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි පාස්කු ප්‍රහාරයේ තුන්වන සැකකරු ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වූයේ ඉන් පසුවය.
විමර්ශන ප්‍රගතිය ඉදිරිපත් කිරීමට අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය යළි විමර්ශකයන් අධිකරණය වෙත කැඳවූයේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාව ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි ගේ සම්බන්ධතාවය හෙළි කරන කරුණු කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට වාර්තා කළේය. කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාරය එල්ල කිරීම සඳහා සහරාන්ගේ කණ්ඩායමට තොරතුරු රැස් කිරීමට සුරේෂ් සලේ ඍජුවම සම්බන්ධවී ඔහුගේ තොරතුරුකරුවෙක් යොදවා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇති බව විමර්ශකයා අධිකරණයට කීවේය.
විමර්ශකයින් කියන කතාව
විමර්ශන නිලධාරියා අධීකරණයට කීවේ මෙවැන්නකි.
“මෙම බුද්ධි අංශය විසින් තවත් තොරතුරු කරුවෙක් පවත්වාගෙන ගියා පානදුර ප්‍රදේශයෙ.”
“මෙම තොරතුරු කරුවා මෙම ප්‍රහාරය සිදුවන බවට පෙර දැනුම්දීමක් කළා. එසේ සිදුකර තිබියදී මෙම ප්‍රහාරය සිද්ධ වෙච්චි දවසේ ඔහුගෙන් විමසීමක් කළාම ස්වාමීනී ඔහු දැනුම් දීමක් කරනවා මේක අනිවාර්යයෙන්ම යුද හමුදාවේ අවුරුදු 20ක්වත් පළපුරුද්දක් තිබෙන නිලධාරියෙක් මෙම ප්‍රහාරය පසුපස ඉන්නවා කියලා. “
“ යුද හමුදාවේ උසස් නිලධාරීන් දුරකථනයෙන් දීර්ඝ වශයෙන් මොහුගෙන් ප්‍රශ්න කරලා 2019 අප්‍රේල් මාසයේ 26 වැනිදා වෙනකම් මේ තොරතුරුකරු හමුදා බුද්ධි අංශය මගින්ම අත් අඩංගුවට ගන්නවා. අත් අඩංගුවට අරන් ඔහුව භාර දෙනවා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට. භාරදීලා ඔහුගේ ගෙදර නඩත්තු කටයුතු හමුදා බුද්ධි අංශය විසින් කරගෙන ගියා.
“ඒ වගේම ඔහුගේ පුතාට යුද හමුදා බුද්ධි බලකායේ පරිගණ අංශයේ රැකියාවක් ලබා දෙන්නත් සැලසුම් කළා ස්වාමීනී…”
එහිදී කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇසුවේ බුද්ධි නිලධාරියෙකුට ඔත්තු කරුවෙක් නඩත්තු කිරීමේ හැකියාවක් නීතිය අනුව ඇති නමුත් අපරාධයේ ප්‍රධාන සැකකරුවෙක් බවට පත් වීමෙන් පසුවත් එලෙස නඩත්තු කර ඇති බවට තොරතුරු තිබෙනවා ද යන්නය.
එවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් දැනුම් දුන්නේ සැකකරුවෙක්වූ පසුවත් ඔහුව නඩත්තු කර ඇති බවය. ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි සම්බන්ධ වුන ආකාරයත් නිලධාරීහු අධිකරණය ඉදිරියේ පැහැදිලි කළහ.
“සැකකරුගේ මෙහෙයවීමෙන් තමයි ඒ සියල්ලම සිද්ධ වෙලා තියෙන්නේ. පසුව මේ සැකකරු නීතිපතිවරයාගේ උපදෙස් මත නිදහස් කළාට පස්සේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට භාරදීලා සැකකරු ගලදාරී හෝටලයට ගෙන්වලා ඔහුට ස්තුති කරලා ඔහුට දැනුම් දීමක් කරනවා මේ කටයුත්තෙන් ඉවත් වෙන්න කියලා. “
මහේස්ත්‍රාත්වරයා විමසා ඇස්සේ එසේ ස්තුති කර ඇත්තේ කුමකට ද යන්නය.
විමර්ශන නිලධාරීවරයා මෙසේ පැවසුවේය.
“ ඔහු ත්‍රස්තවාදී විමර්ශන කණ්ඩායමට යොමු කරලා, බුද්ධි අංශ නිලධාරියෙකු ඔහු වෙත යවලා, මේ විමර්ශනය සිදුවන ආකාරය පිළිබඳව ඔහුගෙන් තොරතුරු ලබා ගත්තා. ඇතුළෙ කට්ටිය කොහොම සීඅයිඩී එකට විමර්ශන කරන්න ඕනෙද ටීඅයිඩී එක කොහොමද විමර්ශන කරන්නේ සහ විදේශ රටවල්වලින් ආපු අය කොහොමද ප්‍රශ්න කරන්නේ… ඒ පිලිබඳව තොරතුරු සියල්ල ඒ ගොල්ල ලබා ගත්තා ස්වාමීනී බුද්ධි අංශ නිලධාරියෙක් යවලා”
මේ අතර පාස්කු ප්‍රහාර මාලාවට සම්බන්ධ පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාර ජස්මීන් මිය ගිය බවට තහවුරු කිරීම සඳහා සුරේෂ් සලෙයිගේ මැදිහත්වීම ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දී අනාවරණය කළේය.
“මෙම ප්‍රහාරයෙන් පස්සේ අප්‍රේල් 26වැනිදා ස්වාමීනී සයින්දමර්දු බෝම්බ පිපිරීමක් සිද්ධ වුනා. එතන ඉන්නවා සාරා ජස්මින් කියන කාන්තාවක්. එම කාන්තාවගේ මෘත දේහය අද වෙනකම් හොයාගෙන නෑ. නමුත් මෙම මරාගෙන මැරෙන බෝම්බකාරියගේ ඩී.එන්.ඒ වාර්තාවක් තුන්වන අවස්ථාවේ දී තමයි සොයාගෙන තියෙන්නේ. “
“එම තුන්වන අවස්ථාවට එම පරීක්ෂණය සිදුකිරීම සඳහා විමර්ශන නිලධාරින්ට විවිධාකාර බලපෑම් සිදුකර තිබෙන්නේ මේ සැකකරු. “
හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නිශාන්ත සොයිසා ඒ පිළිබඳව දැනුම් දී ඇති බවත්, විටින් විට ආරක්ෂක කවුන්සිලයට නිලධාරීන් කැඳවා සුරේෂ් සලෙයි බලපෑම් කර ඇති බවත් විමර්ශන නිලධාරීහු අනාවරණය කළහ.
බුද්ධි අංශ නිලධාරීවරයෙක් ඒ ආකාරයට පොලිස්පතිවරයා ආරක්ෂක මණ්ඩලයට කැඳවන්නේ කෙසේ දැයි විනිසුරුවරයා විමසුවේය. විනිසුරුවරයා පැවසුවේ ආරක්ෂක මණ්ඩලය කැඳවීම ජනාධිපතිවරයා විසින් සිදුකළ යුතු කරුණක් බවය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලය කැඳවන බවත් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයාගේ ඉදිරිපත් කිරීම අනුව එය පවත්වාගෙන යන බවත් විමර්ශන නිලධාරීහු එහිදී ප්‍රකාශ කළහ.
විත්තියේ නීතිඥයාගේ ප්‍රකාශය
“ ස්වාමීනී… අවසානයේ දී සීඅයිඩී හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ කියනවා මේක දිගින් දිගටම කළා කියලා. සුරේෂ සලෙයි කියන නිලධාරියා බලපෑම් කරනකොට එය කරන්නේ නැති වුනාම මොහු ආරක්ෂක කවුන්සිලයට ගෙනල්ලා ජනාධිපති හරහා ඔහුට බලපෑම් කළා.”
“ අවසානයේ දී ඔහුට දුන්න පීඩනය නිසා හෘදයාබාධයක් ඇති වුනා කියලත් ඔහු ප්‍රකාශ ලබා දීලා තියනවා. “
හිටපු ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ සලෙයි වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් කරුණු දැක්වූයේය.
නීතිඥ අනුජ ප්‍රේමරත්න කියන්නේ මෙවැන්නකි.
“ මෙම බෝම්බ ප්‍රහාරය සිදුවන්නේ 2019 වසරේ. දැන් මේ කටුවාපිටිය අරවා මේවා කියලා වැඩක් නැහැ. මොකද 2019 මේ තුන්වන සැකකරු ලංකාවෙ නෙමෙයි හිටියෙ මැලේසියාවෙ. සැකකරු බලපෑම් කළා කියන්නේ පොලිසියෙ ඩී.අයි.ජී.ටයි, අයි.ජී.පීටයි.”
“ ඒ ගොල්ල කෝට් එකක් ඇඳගෙනද ඒ කාලෙ හිටියේ. කොට් එකක් නැතුව ද?…. ඒ කියන්නෙ ලජ්ජයි මම කියන කතන්දරේ. ආරක්ෂක කවුන්සිලයට ගෙනල්ලා ඉවරවෙලා බැන්නලු. අයි.ජී.පීගෙ යටතෙ තමයි එස්.අයි.එස් එක තියෙන්නේ. “
අනිත් එක ආරක්ෂක කවුන්සිලය කියන්නේ ජනාධිපතිවරයා විසින් කැඳවන්නක්. ආරක්ෂක කවුන්සිලය හමුදා නිලධාරියෙකුට කැඳවන්න බෑ. ආරක්ෂක කවුන්සිලය තියෙන්නේ ජනාධිපතිවරයා විසින් කැඳවන්න. 2019 පැසිකු ප්‍රහාරය සිදුවුනේ ආරක්ෂක කවුන්සිලය කැඳවා තිබුණෙ නෑ. ඒ කරුණු සියල්ල අනාවරණය වුනා අර ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හත් දෙනෙකු ඉදිරියේ කැඳවූ නඩුවෙදි. “
අනතුරුව මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ගෙන් විමසා සිටියේ එවක ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති බලපෑම කුමක්ද යන්නය.
එහිදී විමර්ශන නිලධාරියා මෙසේ කීවේය.
“ ස්වාමිනී. තුන්වැනි වතාවටත් අම්පාර ප්‍රදේශයේ තියෙන මිනීවල හාරලා ඒකේ සාම්පල අරගෙන ඩී.එන්.ඒ පරීක්ෂාවක් සිදුකරන්න කියලා කරපු බලපෑම තමයි. සැකකරු දිගින් දිගටම බුද්ධි සමාලෝචන සාකච්ඡාවේ දී මේ පිළිබඳව දැනුම් දීලා මේක ක්‍රියාත්මක කරන්නෙ නැති වුනාම තමයි ආරක්ෂක කවුන්සිලයට කැඳවලා ජනාධිපතිතුමාට මේක කියලා තියෙන්නේ. “
“ මේ සීඅයිඩී එකේ කට්ටිය මේක කරන්නේ නෑ. මේක ඕනෙ කමින්ම මග හරිනවා කියලා. “
මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සුරේෂ් සලෙයි හමුවීමේ දී නීතිඥවරුන්ට විවිධ බාධා ඇති බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට දැනුම් දුන්නේය.
මහේස්ත්‍රාත්වරයා ගේ ප්‍රකාශය
කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන 25 වැනිදා නැවත කැඳවීමට නියෝග කළේය. එම නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙසේ ද පැවසුවේය.
තුන්වන සැකකරුට අදාලව ඉදිරිපත් වන කරුණු පාස්කු ප්‍රහාරයට අදාලව ඍජුව සම්බන්ධ කරුණු. රාජකාරි පැහැර හැරීම වැනි අවශේෂ කරුණු නෙමෙයි. ඒ නිසා පෙරදින නියෝගය යම් ක්‍රියාත්මක වීමක් පෙනී යනවා.
සාක්ෂි ප්‍රමාණවත් ද නැද්ද කියලා අද දින ඉදිරිපත් කරන සාක්ෂි සම්පිණ්ඩන වාර්තා සහ ඉදිරියේ දී සිදුකරන විමර්ශන අනුව තීරණය කළ යුතුයි. නමුත් නියෝගය ක්‍රියාත්මක වී ඇති බවට අධිකරණයට නිරීක්ෂණය වෙනවා.
ඒ සාක්ෂිමය කරුණු අවශ්‍ය අවස්ථාවේ දී සලකා බලනවා. විමර්ශකයා විසින් තුන්වන සැකකරු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු තුනේ එක් කරුණක් ආරක්ෂක කවුන්සිලයට අදාල කරුණක්.
එහිදී බලන්න ඕන එම නියෝගය දීලා තිබෙන්නේ ජනාධිපතිවරයා නම් ඒක ආරක්ෂක මණ්ඩලයෙන් ජනාධිපතිවරයාට ව්‍යවස්ථාපිතව කරන්න බලක් තියන කාරණයක් ද කියලා. එහෙම තියනවා නම් අපරාධ කරුණක් ලෙස සලකන්න බෑ. “
“අපරාධ වගකීමක් පැවරෙන්නේ විමර්ශන අඩපන කිරීමේ චේදනාවෙන් කළා නම් පමණයි. එහෙම නැතිව විමර්ශනයේ යම් යම් පියවර සඳහා ලබා දීපු උපදේශයක් නම් එයින්ම අපරාධ වගකීම පවරන්න බැහැ.”
“ඒ ගැන තියන කරුණු තව දුරටත් විමර්ශනය කරන්න ඕනේ. ආරක්ෂක මණ්ඩලයේ දි සිදුවූ සිදුවීම අපරාධ වගකීමක් පැවරිය හැකි කාරණාවක් ද කියලා පරීක්ෂා කර බලා ඒ ගැන තියෙන සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරන්න. “
“ එහෙම නම් කාටද අපරාධ වගකීම පැවරෙන්නේ කොහොමද පැවරෙන්නේ කියලත් වාර්තා කරන්න. එම විමර්ශනවල ප්‍රගතිය මීලඟ දිනයේ දී වාර්තා කරන්න…”
“තුන්වන සැකකරු සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් කරනවා නම් අභියාචනාධිකරණයේ පූර්ව නියෝග මත පදනම් වෙලා මොනවද ඉල්ලන්නෙ කියලා ලිඛිතව සඳහන් කරන්න. ඉන් පසු සලකා බලනවා.”
“ඊට අමතරව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නිරීකෂණය කරනකොට එහි ව්‍යවස්ථාපිත සීමාවන් යටතේ අවශ්‍ය නියෝග නිකුත් කරනවා. පුද්ගලිකව නිරීක්ෂණය කරලා බලලා. ඊට වැඩිමනත් අවශ්‍ය නම් ලිඛිතව ඉදිරිපත් කළ යුතුයි. “







