වත්මන් රජය දේශපාලන නාට්‍ය සහ මාධ්‍ය සිරස්තල කෙරෙහි අවධානය යොමු කරනු වෙනුවට, රටේ ජනතාව වෙනුවෙන් අර්ථවත් ප්‍රතිඵල අත්කර දීමට පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තමන් පිල්ලෙයාන් හමුවීමට ගිය බවට උසාවියට දැනුම් දීම සහ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සඳහා ප්‍රංශය බලා යාම සම්බන්ධයෙන් සිය X ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
2018/19 කාලසීමාවේදී ටී.එම්.වී.පී. (TMVP) පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් බන්ධනාගාරගතව සිටි සමයේ තමන් ඔහුව බැලීමට ගිය බව රහසක් නොවන බවත්, ඒ පිළිබඳ ඕනෑම බන්ධනාගාර වාර්තාවක් ලබාගත හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. එම වකවානුව වන විට ඔහු 2015 ජනාධිපතිවරණයට මෙන්ම 2018 පළාත් පාලන මැතිවරණයටද තරඟ කරමින් තම සන්ධානයේ පාර්ශවකරුවකුව සිටි බවද ඔහු සිහිපත් කරයි.
එහිදී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ප්‍රංශය දක්වාම ගමන් කොට ඇති බව දැනගන්නට ලැබුණා. නිලධාරීන් මෙතරම් විශාල දුරක් ගමන් කළේ මා පිල්ලෙයාන් හමුවීමට ගිය බව තහවුරු කර ගැනීමට පමණක් නම්, එය පැහැදිලිවම මහජන මුදල් නාස්තියක්. මා දන්නා තරමින්, මේ වන විට පිල්ලෙයාන්ව රැඳවුම් භාරයේ තබාගෙන සිටින්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නොවෙයි. එසේ නම්, රජය මේ ආකාරයේ මාධ්‍ය සංදර්ශන පවත්වමින් සැබවින්ම ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නේ කාටද?”
ජාතික ජන බලවේගය (NPP) විසින්ද විවිධ අවස්ථාවලදී පාස්කු ප්‍රහාරය පිළිබඳව විවිධ කතාන්දර සමාජගත කර ඇති බව පවසන මන්ත්‍රීවරයා, රජය දැන් මෙම ඛේදවාචකය දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කර ගැනීම සඳහා යොදා ගැනීමට උත්සාහ කරන්නේ නම්, එය තවමත් සැබෑ පිළිතුරු සහ සාධාරණය අපේක්ෂාවෙන් සිටින වින්දිතයන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට කරනු ලබන දැඩි අසාධාරණයක් බවද අවධාරණය කරයි.
ඕනෑම සාධාරණ පරීක්ෂණයකට මුහුණ දීමට තමන් සැමවිටම සූදානම් බවත්, පවතින ඕනෑම සැකයක් විවෘතව සහ විනිවිදභාවයකින් යුතුව නිරාකරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපරිම සහයෝගය ලබා දෙන බවත් පවසන නාමල් රාජපක්ෂ, රජය විසින් කළ යුතුව ඇත්තේ දේශපාලන නාට්‍ය වෙනුවට ජනතාව වෙනුවෙන් වැඩ කිරීම පමණක් බවද පවසයි.
It is no secret that I visited TMVP leader Sivasathurai Chandrakanthan, also known as Pillayan, while he was in prison in 2018/19. In fact, prison records of my visits are very much available. At the time, he was party to the alliance, contesting both the 2015 Presidential…
— Namal Rajapaksa (@RajapaksaNamal) May 20, 2026







