එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මෝදර නිපුන’ නැමැත්තාගේ සහෝදරයා වන චතුර දිල්රුක්ෂාන් හෙවත් මෝදර චතුර නැමැත්තාට ප්‍රශ්න කිරීම් සඳහා පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
ඔහු සමග මෙරටට පිටුවහල් කරන ලද අනෙක් ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තාට ද හෙට (15) දිනයේදී රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.
පසුගිය 13 වැනිදා රාත්‍රියේ මෙරටට රැගෙන ආ බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තා පැය 14 ක කාලයක් ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් භාරයේ තබා ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන සඳහා අද (14) පෙරවරුවේ කොළඹ උතුර අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී ඇත.
අබුඩාබි නුවරදී කොටු වූ පසුබිම
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය මධ්‍යයේ, ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල කළ ප්‍රහාරවලට අදාළ දර්ශන සහ ඡායාරූප තමන්ගේ ජංගම දුරකථන තුළ තබාගෙන සිටීමේ වරදට අබුඩාබි ආරක්ෂක අංශ විසින් මොවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබුණි. දින කිහිපයක් එරට බන්ධනාගාරගත කර තැබීමෙන් අනතුරුව, එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් යානයකින් ඔවුන්ව මෙරටට පිටුවහල් කෙරිණි. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ඝාතන රැසක සැකකරු: බ්ලූමැන්ඩල් සංඛ
අත්අඩංගුවට ගත් 40 හැවිරිදි බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තා 2022 වසරෙන් පසු මෙරට තුළ සක්‍රීයව නොසිටියද, ඊට පෙර සිදුවූ දරුණු ගණයේ අපරාධ රැසක ප්‍රධාන සැකකරුවෙකි. පොලිස් වාර්තාවලට අනුව ඔහුගේ අපරාධ ඉතිහාසය මෙසේය:
-
2015: කොළඹ ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක්.
-
2016: මාළිගාවත්ත ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දීම.
-
2018: ග්‍රෑන්ඩ්පාස් බලප්‍රදේශයේදී පිස්තෝලයකින් වෙඩි තබා පුද්ගලයෙකු ඡාතනය කර තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදුකිරීම.
මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරිකයා: මෝදර චතුර
චතුර දිල්රුක්ෂාන් හෙවත් මෝදර චතුර නැමැත්තා, ඔහුගේ සහෝදරයා වන ‘මෝදර නිපුන’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධානියා ලෙස හඳුනාගෙන තිබේ. ඔහු අබුඩාබි නුවර පැවති සාදයක් අතරතුරදී එරට ආරක්ෂක අංශවලට කොටු වී ඇත. ඔහුගේ පසුබිම මෙසේය:
-
2019: ගංජා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීම.
-
2020: මෝදර පොලිස් වසමේදී පොලුවලින් සහ උල් ආයුධවලින් පහරදී පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ නඩුවක සැකකරුවෙකු වීම.
-
2022 නොවැම්බර්: කොළඹ අංක 04 මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මොහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබීම.
මෝදර චතුර මේ වන විට නාරාහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙනවිත් තිබේ. මෙම සැකකරු අත්අඩංගුවට පත්වූ පුවත සැලවීමත් සමග මෝදර ප්‍රදේශයේ වැසියන් වීදිවල රතිඤ්ඤා දල්වා ප්‍රීති වී ඇති බවද වාර්තා වේ.
උසස් පොලිස් නිලධාරීන්ගේ මෙහෙයවීම
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ යන උසස් පොලිස් නිලධාරීන්ගේ සෘජු මෙහෙයවීම සහ උපදෙස් පරිදි ක්‍රියාත්මක වේ.







