දිනසේන රතුගමගේ
මන්නාරම ප්‍රධාන පාලම යට පිහිටි යුද හමුදා මුරපොලේ සේවය කරමින් සිටි හමුදා භටයෙකු ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වීමෙන් සිදු වූ වෙඩි වැදීමකින් ඊයේ (22) මියගොස් තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මන්නාරම, සවුත්බාර් යුද හමුදා කඳවුරට අනුයුක්තව, මෙම මුරපොලේ සේවයේ නිරතව සිටි 46 හැවිරිදි හමුදා සෙබලෙකි.
ඔහු එම මුරපොලේ අවි භාරව කටයුතු කළ නිලධාරියා වශයෙන් කටයුතු කර ඇති අතර, රාජකාරී සඳහා පැමිණි සෙසු හමුදා භටයින්ගේ ගිනිඅවි පරීක්ෂා කොට භාර දෙමින් සිටියදී එක් ගිනිඅවියක් මෙලෙස හදිසියේම ක්‍රියාත්මක වී ඇත.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුව වහාම මන්නාරම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණ ද, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය හමුදා සෙබළාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා දේහය ඥාතීන් වෙත භාර දීමට මන්නාරම පොලීසිය කටයුතු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ යුද හමුදාව මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.









