ප්‍රවීණ සිනමා රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකාගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන ‘රැජිණියේ’ සිනමාපටයේ රූගත කිරීම්, ඇගේ පවුලේ සාමාජිකයන්ගේ කිසිදු එකඟතාවයකින් හෝ දැනුවත් කිරීමකින් තොරව අත්තනෝමතික සහ සදාචාර විරෝධී ලෙස ආරම්භ කර ඇති බව පවුලේ සාමාජිකයන් වෙනුවෙන් රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා සිය ෆේස් බුක් ගිනුමේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියි.
ඇය පෙන්වා දෙන්නේ මාලිනී ෆොන්සේකා වැනි ප්‍රබල සහ ශ්‍රේෂ්ඨ කලාකාරිනියකගේ ජීවිතය, ඇගේ අභාවයෙන් වසරක් ගතවීමටත් මත්තෙන් මෙලෙස සුළු පිරිසකගේ පටු වාණිජ පරමාර්ථ උදෙසා අවභාවිත කිරීම සමස්ත කලා ක්ෂේත්රයේම ආචාර ධර්මයන්ට පටහැනි බවය.
මෙම සිනමාපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ජයන්ත ධර්මදාස විසිනි. මාලිනී ෆොන්සේකා අසනීප වූ අවස්ථාවලදී සහ ඇගේ අවසාන කාලයේදී ඔහු දැක්වූ ආදරය හා කළ උපකාර පිළිබඳව පවුලේ කෘතඥතාව හිමිවන නමුත්, චිත්‍රපටයක් නිර්මාණය කිරීම ඊට හාත්පසින්ම වෙනස් වෘත්තීයමය කාරණාවක් බව සමනලී ෆොන්සේකා අවධාරණය කරයි.
ඇය සඳහන් කරන පරිදි, මෙම සිනමාපටය පිළිබඳව මුලින්ම දැනගන්නට ලැබීමෙන් පසු පවුලේ වැඩිහිටියෙකු වන දමයන්ති ෆොන්සේකා 2026 පෙබරවාරි 09 වන දින ජයන්ත ධර්මදාස හමුවී සාකච්ඡා කර ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ මෙය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බවත්, ඉදිරියේදී පවුලේ අය සමඟ සාකච්ඡාවක් ලබා දෙන බවත්ය. මාලිනී ෆොන්සේකාගේ කීර්තිනාමයට හානියක් නොවිය යුතු බැවින් ඊට පෙර එහි තිරපිටපත (Script) පවුලේ අයට ලබා දිය යුතු බව එහිදී දමයන්ති ෆොන්සේකා අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත්, පවුලේ කිසිදු වැඩිමහල් සාමාජිකයෙකුට දැනුම් දීමකින් තොරව 2026 අප්‍රේල් 2 වන දින ‘රැජිණියේ’ චිත්‍රපටය නිල වශයෙන් ජනගත කර ඇති බව පවුලේ සාමාජිකයන් දැක ඇත්තේ ෆේස්බුක් මාධ්‍යය හරහාය.
පසුව මෙහි පිටපත් රචක සුනෙත් මාලිංග දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද, මෙය දුරකථනයෙන් නිමකළ නොහැකි බැවින් පවුලේ සැම සමඟ නිල සාකච්ඡාවක් අවශ්‍ය බව සමනලී ෆොන්සේකා දන්වා ඇතත් ඉන්පසු කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.
දමයන්ති ෆොන්සේකා විසින් යොමුකළ ලිපියකට අනුව මැයි 2 වන දින සුනෙත් මාලිංග ඇය හමුවී ඇති අතර, එහිදීද වාචික ප්‍රකාශ වෙනුවට ලිඛිත තිරපිටපත ඉල්ලා ඇත. එහිදී මැයි 20 වන දිනට පෙර තිරපිටපත ලබා දෙන බවට ජයන්ත ධර්මදාස සහ සුනෙත් මාලිංග පොරොන්දු වුවද, එම පොරොන්දුව අමු අමුවේ උල්ලංඝනය කරමින් මෙතෙක් කිසිදු පිටපතක් ලබා දී නොමැති බව සමනලී ෆොන්සේකා පවසයි.
මැයි 23, ජූනි 6 යන දිනවල යොමුකළ වට්ස්ඇප් පණිවිඩවලට මෙන්ම ජූනි 23 වන දින ලියාපදිංචි තැපෑලෙන් යැවූ අවසාන ලිපියටද චිත්‍රපට කණ්ඩායමෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.
මාලිනී ෆොන්සේකාගේ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සැම මුළුමනින්ම නොසලකා හරිමින්, මාලිනී ෆොන්සේකා යන නාමය ප්‍රචාරණ කටයුතු සඳහා බාල ලෙස භාවිත කරමින් අද දින අත්තනෝමතික ලෙස රූගත කිරීම් ආරම්භ කර ඇති බවත්, පවුලේ සාමාජිකයන් ලෙස මෙම වංචනික ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින බවත් සමනලී ෆොන්සේකා සිය ෆේස් බුක් සටහන මඟින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.
පහත දැක්වෙන්නේ සමනලී ගේ ෆේස් බුක් නිවේදනයයි.









