වී කිලෝවක් සඳහා දැනට ප්‍රකාශයට පත් කර ඇති සහතික මිලට වඩා වැඩි මිලක් ඉල්ලා ඇති තරම් උද්ඝෝෂණ සිදු කළ ද, වී සඳහා දැනට නියම කර ඇති සහතික මිල කිසිසේත්ම වෙනස් නොකරන බව කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත අද (16) ප්‍රකාශ කළේය.
අද පැවැති ප්‍රසිද්ධ හමුවක් අමතමින් ඇමතිවරයා ස්ථිරවම කියා සිටියේ නාඩු කිලෝවක් සඳහා රුපියල් 120ක්, සම්බා කිලෝවක් සඳහා රුපියල් 130ක් සහ කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 140ක සහතික මිලක් නියම කර ඇත්තේ නිශ්චිත ගණනය කිරීම් සිදු කිරීමෙන් පසුව බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම ඇමතිවරයා මෙසේ ද පැවසීය.
“දැන් සමහර අය එක එක මිල ගණන් වී කිලෝ එකකට ඉල්ලනවා. ඒ කියන විදිහට මිල තීරණය කළොත් පාරිභෝගිකයාට සහල් කිලෝ එකක් මිලදී ගන්න වෙන්නේ රුපියල් 400කට. අපි ගොවියන් ගැන විතරක් හිතන ඇමතිවරු නෙමෙයි. අපි ගොවියන් ගැනත් හිතනවා, පාරිභෝගිකයන් ගැනත් හිතනවා.
ගොවියන් දැනගන්න ඕන මේ රටේ පාරිභෝගික ජනතාව තමයි ඒ අයට දෙන්න පුළුවන් හැම සහනයක්ම දෙන්නේ කියලා. ඒ නිසා ගොවියා දේශපාලන සටන් පාඨ ඉදිරියට දාගෙන තමන්ගේ වීවලට වැඩි මිලක් ඉල්ලනකොට, තමන්ට පොහොර සහනාධාරය දෙන, වාරිමාර්ග පහසුකම් සපයන, දරුවන්ට පාසල් උපකරණ ගන්න රුපියල් හයදහසක් ලබා දීපු ඒ පොදු ජනතාව ගැනත් කල්පනා කරන්න ඕන.”
විවිධ දේශපාලන සටන්පාඨවලට රැවටෙන්නේ නැතිව යථාර්ථය තේරුම් ගත යුතු බව පැවසූ ඇමතිවරයා, රුපියල් 120, 130 සහ 140 යනු නිසි ලෙස ගණන් හදා තීරණය කළ මිල ගණන් බවත්, ඊට වඩා වැඩි මිලක් ඉල්ලා ඇති තරම් උද්ඝෝෂණ කළ ද මිල වෙනස් නොකරන බවත් අවධාරණය කළේය.
වී කිලෝවකට රුපියල් 150ක් හෝ 160ක් ඉල්ලන්නේ යථාර්ථවාදී සටන්කාමීන් නොවන බවත්, ඒවා සටන් පාඨ නොව හුදු ‘ගොං පාට්’ පමණක් බවත් ඇමති ලාල් කාන්ත වැඩිදුරටත් සඳහන් කළේය.









