දිනසේන රතුගමගේ –
යාපනය සහ ඩෙල්ෆ්ට් දූපත අතර මගී ප්රවාහන සේවයේ නිරතව තිබූ ‘නෙඩුන්තාරකී’ මගී බෝට්ටුව නාවික හමුදාව මගින් අලුත්වැඩියා කිරීමෙන් පසුව අද (29) සිට යළිත් වරක් මගී ප්රවාහන කටයුතු සඳහා යොදවා තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෙම මගී ප්රවාහන බෝට්ටුව අබලන් වීමෙන් පසුව එය අලුත්වැඩියා කර ගැනීම පිණිස මුදල් යෙදවීමට කිසිදු ආයතනයක් අපොහොසත් වී තිබිණි. එම අවස්ථාවේ නාවික හමුදාවේ උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මැදිහත් වී නාවික හමුදාවේ වියදමින් හා ශ්රමයෙන් එම යාත්රාව අලුත්වැඩියා කර දී තිබේ.
අලුත්වැඩියා කටයුතු හේතුවෙන් වසර එකහමාරකට පසුව නෙඩුන්තාරකී මගී ප්රවාහන බෝට්ටුව යාපනය සහ ඩෙල්ෆ්ට් දූපත අතර යළිත් මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, එම බෝට්ටුවේ ගමන් ගාස්තුව රුපියල් 150ක් වැනි සහනදායී මට්ටමක පවතී.
යාත්රාව අබලන් වී තිබූ කාලයේදී ජනතාවට පෞද්ගලික බෝට්ටු මගින් ප්රවාහන පහසුකම් සපයා ගැනීමට සිදු වූ අතර, ඒ සඳහා රුපියල් 500කට වඩා වැඩි ගාස්තුවක් ගෙවීමට සිදු විය. ඉතා ආරක්ෂිත මෙන්ම ඉහළ පහසුකම්වලින් සමන්විත මෙම යාත්රාව යළි සේවයට එක්වීම නිසා යාපනයේ සිට ඩෙල්ෆ්ට් දූපතට දිනපතා රාජකාරි සඳහා යන විශාල පිරිසකට මහත් සහනයක් සැලසෙනු ඇත.







