The New York Times ඇසුරෙන් සකස් කලේ
කපිල කේ හීනටියන –
පෙබරවාරි 28 වන දින ඉරානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරමින්, ඉරානයේ ‘ත්‍රස්තවාදී පාලන තන්ත්‍රය’ මුළුමනින්ම තුරන් කරන බවට ලෝකය හමුවේ ප්‍රතිඥා දුන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, සති දෙකක් ගතවන තැන සිය යුද අරමුණු සැලකිය යුතු ලෙස සීමා කර තිබේ.
ඊශ්‍රායල සහ ඇමරිකානු ප්‍රහාරක යානා ඉරාන ගුවන් සීමාවේ පූර්ණ බලය තහවුරු කරගෙන සිටියද, නෙතන්යාහුගේ මුල්කාලීන දැවැන්ත යුද ඉලක්ක මේ වන විට පොළොවේ යථාර්ථය හමුවේ මෘදු වී ඇති බව පෙනෙන්නට ඇත.
ඉලක්ක වෙනස් වීමේ මූලෝපායික පසුබිම
යුද්ධය ආරම්භයේදී නෙතන්යාහුගේ ප්‍රධාන අරමුණ වූයේ ඉරාන පාලනය මුලිනුපුටා දැමීමය. නමුත් පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වූ සිය ප්‍රථම යුද ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු සඳහන් කළේ ඊශ්‍රායලයේ වත්මන් ඉලක්කය ඉරානයේ න්‍යෂ්ටික සහ බැලැස්ටික් මිසයිල හැකියාවන් ‘අඩපණ කිරීම’ (Degrade) පමණක් බවය.
මෙම ඉලක්ක වෙනස් වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් පනවනු ලැබ ඇති කොන්දේසි සමුදායයි. වසර 30ක් තිස්සේ ඉරානයට එරෙහිව යුද්ධයක් අපේක්ෂා කළ නෙතන්යාහුට, ඇමරිකාවේ සෘජු සහයෝගය ලැබුණද, එම සහයෝගය හිමිවන්නේ ට්‍රම්ප් විසින් තීරණය කරනු ලබන සීමාවන් තුළ පමණි.
ට්‍රම්ප්ගේ මැදිහත්වීම සහ ආර්ථික මූලෝපාය
ඉරානයේ තෙල් පිරිපහදු සහ ඉන්ධන ගබඩා ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ සමීපතම මිතුරෙකු වන සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් ප්‍රසිද්ධියේ සිය අප්‍රසාදය පළ කර තිබේ.
ඉරාන පාලනය පෙරළා දැමුවහොත්, එරට අනාගත රජයකට ස්ථාවර ආර්ථිකයක් පවත්වා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් විනාශ නොකරන ලෙස ඇමරිකාව ඊශ්‍රායලයට අනතුරු අඟවා ඇත.
මෙහි ඇති සැඟවුණු මූලෝපාය වන්නේ ඉරානයේ තෙල් කර්මාන්තය කෙරෙහි ඇමරිකානු පාලනය තහවුරු කර ගැනීමය. එමගින් ඉරාන තෙල් මත යැපෙන චීනයට බලපෑම් කිරීමටත්, අනාගතයේදී තායිවානය සම්බන්ධයෙන් චීනය සමඟ ඇති විය හැකි ගැටුමකදී ප්‍රබල දේශපාලන තුරුම්පුවක් ලෙස එය භාවිතා කිරීමටත් ඇමරිකාව සැලසුම් කරමින් සිටී.

දේශපාලන අර්බුදය සහ ජනමතය
යුද්ධයට ඊශ්‍රායල වැසියන්ගේ බහුතර සහයෝගය හිමි වුවද, නෙතන්යාහුගේ පෞද්ගලික දේශපාලන අනාගතය තවමත් අවිනිශ්චිතය. යුද්ධය මෙහෙයවීමේ ගෞරවය ඔහුට හිමි වුවද, මෑතකදී සිදු කළ මත විමසුම්වලට අනුව ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් නෙතන්යාහුගේ සභාග රජයට බහුතර බලය අහිමි වීමේ දැඩි අවදානමක් පවතී.
එමෙන්ම, යුද වියදම් ඉහළ යද්දී අන්ත ඕතඩොක්ස් යුදෙව් ආයතන සඳහා අමතර අරමුදල් වෙන් කිරීම සහ එම ප්‍රජාව හමුදා සේවයෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ රක්ෂිත හමුදා භටයන් සහ සාමාන්‍ය වැසියන් අතර නෙතන්යාහු කෙරෙහි පවතින්නේ දැඩි අප්‍රසාදයකි.
‘වින්ස්ටන් චර්චිල්’ සිහිනය සහ යථාර්ථය
තමන්ව දෙවන ලෝක යුද සමයේ වින්ස්ටන් චර්චිල්ට සමාන කර ගැනීමට නෙතන්යාහු උත්සාහ කළද, බොහෝ විචාරකයන් පෙන්වා දෙන්නේ ඔහු දැන් ඇමරිකානු ජනාධිපතිවරයාගේ අණට යටත්ව කටයුතු කරන නායකයෙකු බවට පත්ව ඇති බවය.
ඊශ්‍රායල විශ්ලේෂක යාකොව් කැට්ස් පවසන පරිදි, නෙතන්යාහුගේ ක්‍රමය වන්නේ “පහර දීම, අඩපණ කිරීම, ජයග්‍රහණය ප්‍රකාශ කිරීම සහ නැවතත් ඒ සඳහාම සූදානම් වීම” මිස දේශපාලන විසඳුමක් කරා ගමන් කිරීම නොවන බවය.







