2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය දරන ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සමඟ එක්ව එල්ල කළ ගුවන් ප්‍රහාර වලට විරෝධය දක්වමින් එම ලෝක කුසලාන තරගාවලියට තමන් සහභාගී නොවන බව ඉරානය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ඉරාන ක්‍රීඩා අමාත්‍ය අහමඩ් දොන්යමාලි (Ahmad Donyamali) අද මෙම ප්‍රකාශය සිදුකරන්නේය. , ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩුවේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මෙම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ඇති වූ දරුණු දේශපාලන අර්බුදය හමුවේ මෙම තීරණය ගත් බව වාර්තා විය.
“අපගේ නායකයා ඝාතනය කළ දූෂිත පාලනයක් යටතේ කිසිදු තත්ත්වයක් මත අපට ලෝක කුසලානයට සහභාගී විය නොහැකියි,” යැයි අමාත්‍යවරයා රජයේ රූපවාහිනිය වෙත පවසා ඇත.
ආරක්ෂාව සහ මානුෂීය අර්බුදය
පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ ඇමරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මේ වන විට ඉරාන සිවිල් වැසියන් 1,300කට අධික පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ඉරාන තානාපති අමීර් සයීඩ් ඉරවානි පවසයි.
“අපේ දරුවන් ආරක්ෂිත නැහැ. මෙවැනි තත්ත්වයක් යටතේ සහභාගී වීමට අවශ්‍ය මූලික පසුබිම පවා අහිමි වී තිබෙනවා. පසුගිය මාස කිහිපය තුළ ඔවුන් අප මත යුද්ධ දෙකක් පටවා දහස් ගණනක් ජනතාව ඝාතනය කර තිබෙනවා,” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
FIFA රෙගුලාසි සහ දඩ මුදල්
ඉරානය මෙවර ලෝක කුසලානයේ ‘G’ කාණ්ඩය යටතේ බෙල්ජියම, ඊජිප්තුව සහ නවසීලන්තය සමඟ තරග වැදීමට නියමිතව තිබුණි. ඔවුන්ගේ සියලුම කාණ්ඩයේ තරග ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් සහ සීයැටල් නගරවල පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර, පසුගියදා ඇට්ලන්ටා හි පැවති සහභාගීත්ව රටවල සැලසුම් සහගත සමුළුවට ද ඉරානය එක් නොවීය.
FIFA රෙගුලාසිවලට අනුව, පළමු තරගයට දින 30කට පෙර තරගාවලියෙන් ඉවත් වන රටකට අවම වශයෙන් ස්විස් ෆ්‍රෑන්ක් 250,000ක ($320,800) දඩයක් නියම කළ හැකිය. එමෙන්ම ඉදිරි තරගාවලි සඳහා තහනම් කිරීමේ බලය ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) සතු වේ.
ට්‍රම්ප් සහ ඉන්ෆැන්ටිනෝ අතර සාකච්ඡා
මීට පෙර FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සාකච්ඡාවකදී, ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ ඉරාන කණ්ඩායම තම රටට පැමිණීම තමන් සාදරයෙන් පිළිගන්නා බවය. කෙසේ වෙතත්, උත්සන්න වී ඇති යුදමය තත්ත්වය හමුවේ ඉරානය පුහුණු තරග පවා අවලංගු කර තිබේ.
කාන්තා කණ්ඩායමේ දේශපාලන සරණාගතභාවය

මේ අතර, ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට ඔස්ට්‍රේලියාව විසින් මානුෂීය වීසා ලබා දී තිබේ. ඒ ඔවුන් ජාතික ගීය ගැයීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නැවත මෙරටට පැමිණීමේදී එල්ල විය හැකි දඬුවම්වලට බියෙන් සරණාගතභාවය ඉල්ලා සිටීම නිසාය.
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම දකුණු කොරියාවට එරෙහි තරගයේදී ජාතික ගීය නොගැයීම, එරට රජයට පක්ෂපාතී මාධ්‍ය විසින් “යුද සමයක කළ ජාතිද්‍රෝහී ක්‍රියාවක්” ලෙස දැඩිව හෙළා දැක තිබේ. එහෙත් එය එරට පවතින දේශපාලන මර්දනයට සහ යුදමය තත්ත්වයට එරෙහිව කරන ලද සාමකාමී විරෝධයක් (Silent Protest) ලෙස ජාත්‍යන්තරය පිළිගනී. ස
ත්‍යාපිත දත්තවලට අනුව, ක්‍රීඩිකාවන් මෙලෙස නිහඬව සිටියේ පසුගිය ජනවාරි මාසයේ සිට එරට පැතිර යන විරෝධතා මර්දනය කිරීම, සිවිල් වැසියන් ඝාතනය වීම සහ උත්තරීතර නායකයාගේ මරණයෙන් පසු ඇති වූ දරුණු දේශපාලන අස්ථාවරත්වය කෙරෙහි ලෝක අවධානය යොමු කරවීමටය. 2022 ලෝක කුසලානයේදී පිරිමි කණ්ඩායම ද මෙලෙසම විරෝධය පෑ අතර, මෙය “ජාතිය පාවා දීමක්” නොව වත්මන් පාලන තන්ත්‍රයේ ක්‍රියාකලාපයට එරෙහිව ක්‍රීඩකයින් පෞද්ගලිකව සහ සාමූහිකව ප්‍රකාශ කරන ලද හෘද සාක්ෂියේ විරෝධතාවක් ලෙස විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ක්‍රීඩිකාවන්ට මරණ තර්ජන
කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් පසු ඉරාන රජය සහ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් ක්‍රීඩිකාවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට දැඩි මරණීය තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ පැවති ආසියානු කුසලාන තරගාවලිය අතරතුර නායිකා සහ්රා ගන්බාරි ඇතුළු ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට වැඩි පිරිසක් එරටින් දේශපාලන සරණාගතභාවය ලබාගෙන ඇති අතර, තවත් පිරිසක් තම පවුල්වල ආරක්ෂාව පතා සහ දේපළ රාජසන්තක වීමේ බිය නිසා නැවත ඉරානය බලා ගොස් තිබේ. රජය නියෝජනය කරන තානාපතිවරුන් ලෙස ක්‍රීඩිකාවන් හැසිරිය යුතු බවට ඉරාන බලධාරීන් තර්ක කළද, ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් පෙන්වා දෙන්නේ මූලික මානව හිමිකම් සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රීඩකයන්ට ද හිමි විය යුතු බවයි.
කෙසේ වෙතත් ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ බහුතරයක් ක්‍රීඩිකාවන් මේ වන විට නැවත ඉරානය බලා ගමන් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඕස්ට්‍රේලියානු රජය විසින් කණ්ඩායමේ සාමාජිකයින් 7 දෙනෙකුට (ක්‍රීඩිකාවන් 6ක් සහ සහායක නිලධාරියෙක්) මානුෂීය වීසා මත දේශපාලන සරණාගතභාවය ලබා දුන් නමුත්, ඉතිරි කණ්ඩායම පසුගිය අඟහරුවාදා රාත්‍රියේ සිඩ්නි ගුවන්තොටුපළෙන් මලයාසියාව හරහා ඉරානය බලා පිටත්ව ගොස් ඇත.
සිඩ්නි ගුවන්තොටුපළේදී ඕස්ට්‍රේලියානු බලධාරීන් එක් එක් ක්‍රීඩිකාව සමඟ පෞද්ගලිකව සාකච්ඡා කර ඔවුන්ට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවශ්‍ය දැයි විමසා ඇති අතර, එහිදී බොහෝ පිරිසක් තම පවුල්වල ආරක්ෂාව සහ ඉරානයේ සිටින හිතමිතුරන්ට එල්ල විය හැකි බලපෑම් සලකා නැවත සිය රට බලා යාමට තීරණය කර තිබේ.
විශේෂයෙන්ම, සරණාගතභාවය ලබාගත් හත් දෙනාගෙන් එක් ක්‍රීඩිකාවක් (ඇය 21 හැවිරිදි ඉදිරි පෙළ ක්‍රීඩිකා මොහද්දෙසේ සොල්ෆි හෝ සහායක නිලධාරිනී සහ්රා සොල්තාන් බවට සැක කෙරේ) පසුව සිය තීරණය වෙනස් කර තිබීම කැපී පෙනේ.
ඇය සිය සගයන් සහ පුහුණුකරු සමඟ දුරකථනයෙන් කළ සාකච්ඡාවකින් පසු, ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීම ප්‍රතික්ෂේප කර ඉරාන තානාපති කාර්යාලය හරහා නැවත සිය රට බලා යාමට තීරණය කර ඇත. මේ හේතුවෙන් සරණාගතභාවය ලැබූ අනෙක් පිරිස රඳවා සිටි රහසිගත ස්ථානය පිළිබඳ තොරතුරු ඉරාන තානාපති කාර්යාලය වෙත නිරාවරණය වී ඇති අතර, ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වහාම ක්‍රියාත්මක වී එම පිරිස වෙනත් ආරක්ෂිත ස්ථානයකට මාරු කිරීමට පියවර ගෙන තිබේ
ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ආපසු පැමිණෙන ක්‍රීඩිකාවන් “ගෞරවනීය ලෙස” පිළිගන්නා බව වුවද, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවේ.







