උපේක්ෂා උඩුවැරැල්ල –
දැවැන්ත පිරිවැයක් සහ ශ්‍රමයක් වැය කරමින් නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ (CBS) පිරිසිදුකම ආරක්ෂා කිරීමට සහ එහි ඇති පොදු දේපළ සුරැකීමට උපරිම සහාය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රීලංගම) මගී ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ යනු දිනකට දහස් සංඛ්‍යාත මගීන් පිරිසක් භාවිතා කරන ප්‍රධානතම ප්‍රවාහන මධ්‍යස්ථානයකි. මාස කිහිපයක් පුරා ක්‍රියාත්මක වූ දැඩි නවීකරණ කටයුතුවලින් පසු මෙය ජනතා අයිතියට පත් කරනු ලැබුවේ මගී ජනතාවට වඩාත් පහසු සහ ප්‍රසන්න ගමන් අත්දැකීමක් ලබා දීමේ අරමුණින් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, නවීකරණය කරන ලද මෙම පරිශ්‍රය තුළ ඇතැම් පුද්ගලයින් අනිසි ලෙස හැසිරෙන බවත්, තැන තැන කුණු කසළ දමමින් පරිශ්‍රය අපිරිසිදු කරන බවත් වාර්තා වී ඇතැයි ප්‍රවාහන මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.
මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, මගී ජනතාවගෙන් පහත කරුණු ඉල්ලා සිටී:
- බස් නැවතුම්පොළ තුළ ඇති අපද්‍රව්‍ය බැහැර කිරීමේදී ඒ සඳහා වෙන් කර ඇති කසළ බඳුන් පමණක් භාවිතා කරන්න.
- පරිශ්‍රය තුළ ඇති ආසන, තාප්ප සහ අනෙකුත් පොදු පහසුකම්වලට හානි කිරීමෙන් වළකින්න.
- පොදු දේපළ සුරැකීම සහ විනය පවත්වා ගැනීම සඳහා නිලධාරීන්ට සහාය වන්න.
මධ්‍යම බස් නැවතුම්පොළ යනු අනාගත පරපුර වෙනුවෙන් ද සුරැකිය යුතු ජාතික සම්පතක් බව සිහිපත් කරන මණ්ඩලය, වගකීම් සහගත පුරවැසියන් ලෙස මෙම පහසුකම් ආරක්ෂා කර ගැනීමට එක්වන ලෙස සියලුම මගීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
අප නැවත ගොඩ නගා ගත්තේ කුමන ආකාරයේ සම්පතක්දැයි යළිත් වරක් මේ සමගම කියවා අවබෝධ කරගැනීම වඩාත් උචිත යැයි හැඟෙන බැවින් මේ අතීත කතාවත් මේ සමගම ලියා තබමු.
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලේ කතාව…
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල යනු මේ රටේ මෑත ඉතිහාසයේ දශක හයකට අධික කාලයක් තිස්සේ මෙරට පොදු ප්‍රවාහන පද්ධතියේ හදවත බඳු සජීවී කේන්ද්‍රස්ථානයකි. රටේ ප්‍රවාහන පද්ධතියේ උපත සමග මේ ඉතිහාසගත බිම්කඩ බැඳී තිබිණි.
වසරකට මගීන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සේවා සපයන මෙම ඓතිහාසික මධ්‍යස්ථානය, 2025 සැප්තැම්බර් 15 වැනිදා ආරම්භ වූ දැවැන්ත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියකින් පසු 2026 අප්‍රේල් 8 වැනිදා යළි ජනතා අයිතියට පත් විය.
වසර 60කට පසු සිදු වූ මෙම සුවිශේෂී පූර්ණ නවීකරණය, “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ රුපියල් මිලියන 425කට ආසන්න පිරිවැයකින් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නිම කරනු ලැබූවකි. මෙය හුදෙක් ගොඩනැගිල්ලක් අලුත්වැඩියා කිරීමක් නොව, මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්රයේ නව පුනරුදයක මාවත විවර කළ සන්ධිස්ථානයකි.
ආරම්භක සැලසුමේත් සිනමාශාලා සහ සුපිරි වෙළෙඳසලක්
මෙම මධ්‍යම බස් නැවතුම්පොළේ ආරම්භය 1964 වසර දක්වා දිවයයි. 1958 ජනවාරි 1 වැනිදා ලංකා ගමනාගමන මණ්ඩලය (CTB) පිහිටුවීමත් සමඟ ආරම්භ වූ පොදු ප්‍රවාහන නවීකරණයේ ඊළඟ පියවර ලෙස, එවකට අමාත්‍යවරයාව සිටි අනිල් මූනසිංහගේ මූලිකත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයට ආසන්නව මෙම සංකීර්ණය ඉදිකිරීමට තීරණය විය. මුල් සැලසුමට අනුව මෙය සිනමා ශාලා, සහනදායී හෝටල් සහ වෙළඳ සංකීර්ණවලින් සමන්විත අති නවීන ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස ඉදි කිරීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත්, 1975 වන විට මෙහි එක් කොටසක් පමණක් නිම කිරීමට හැකි වූ අතර පසුව ඇති වූ පාලන වෙනස්කම් හේතුවෙන් ව්‍යාපෘතියේ ඇතැම් අංග අඩාල විය. එසේ වුවද, දිනකට බස් රථ 2,000කට අධික ප්‍රමාණයකට සහ මගීන් දහස් ගණනකට සෙවන දෙන පිටකොටුවේ ප්‍රධානතම වෙළඳ හා ප්‍රවාහන මර්මස්ථානය බවට මෙය පත් විය.
මධ්‍යම බස් නැවතුම්පොළේ ඉතිහාසය දෙස බලන විට, 1987 අප්‍රේල් 21 වැනිදා යනු අතිශය අඳුරු සහ වේදනාකාරී මතකයක් ඉතිරි කළ දිනයකි. එදින එල්ල වූ ත්‍රස්තවාදී කාර් බෝම්බ ප්‍රහාරයකින් අහිංසක සිවිල් වැසියන් 113 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූයේ රටම කම්පාවට පත් කරමිනි. මෙම ප්‍රහාරයෙන් බස් නැවතුම් පර්යන්තයට මෙන්ම ආසන්නයේ තිබූ බැංකු ශාඛාවලට ද දැඩි හානි සිදු වූ අතර, එය ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ අතිශය බිහිසුණු ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස සටහන් විය. මෙම ඛේදජනක සිදුවීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සංචාර පවා අත්හැර දැමීමට සිදු වූ අතර, එතැන් පටන් දශක කිහිපයක් යනතුරු මෙම ස්ථානය ජනතා මතකයේ රැඳී තිබුණේ එම බිහිසුණු ප්‍රහාරයේ සාක්ෂිකරුවකු ලෙසිනි.
ගරා වැටී තිබුණු ගොඩනැගිල්ල
වසර 60කට ආසන්න කාලයක් තිස්සේ විධිමත් ලෙස පූර්ණ නවීකරණයකට ලක් නොවීම හේතුවෙන් මෑත භාගය වන විට මෙම පරිශ්‍රය බෙහෙවින් ජරාජීර්ණ වී තිබිණි. මගීන්ට මෙන්ම රියදුරු සහ කොන්දොස්තරවරුන්ට ද අවම සනීපාරක්ෂක පහසුකම් පවා නොමැති වීම විශාල ගැටලුවක් වූ අතර, 2009 වසරේ සිදු වූ සුළු අලුත්වැඩියාවන් ද ප්‍රමාණවත් නොවීය.
මෙම පසුබිම තුළ 2025 වසරේදී ආරම්භ කළ නවීකරණ වැඩපිළිවෙළ මගීන්ගේ මූලික අවශ්‍යතා ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කෙරිණි. මාස හතරක් වැනි කෙටි කාලයක් තුළ ගුවන් හමුදාවේ දායකත්වයෙන් බිම් මහලේ බස් අංගනය, නවීන සනීපාරක්ෂක පද්ධති සහ බාහිර රථගාල් ප්‍රදේශය ඉතා ක්‍රමවත් ලෙස සකස් කිරීමට පියවර ගැනුණි.
නවීකරණ ව්‍යාපෘතියේ දෙවන සහ තෙවන අදියර යටතේ රියදුරු සහ කොන්දොස්තරවරුන් සඳහා වෙනම විවේකාගාර, පරිපාලන සහ මෙහෙයුම් කටයුතු සඳහා නවීන කාර්යාල පරිශ්‍රයන් මෙන්ම මගීන් සඳහා නව තොරතුරු මධ්‍යස්ථානයක් ද ස්ථාපනය කරන ලදී. මුළු පරිශ්‍රයම CCTV කැමරා පද්ධතියක් මඟින් ආවරණය කරමින් මගී ආරක්ෂාව තහවුරු කිරීමටත්, ප්‍රසන්න පරිසරයක් නිර්මාණය කිරීමටත් මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනගේ සහභාගීත්වයෙන් පසුගිය අප්‍රේල් 8 වැනිදා ජනතා අයිතියට පත් වූයේ, මෙරට ප්‍රවාහන ක්ෂේත්රය නවීන තාක්ෂණය සමඟ බද්ධ වූ එවන් උසස් පහසුකම්වලින් සන්නද්ධ මධ්‍යස්ථානයකි.
අද වන විට පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ යනු හුදෙක් බස් රථ නවත්වන ස්ථානයක් නොව, නවීන පිරිසිදු සහ ආරක්ෂිත බවින් පිරි ජාතික සම්පතකි. ඉදිරියේදී කොළඹ කොටුව දුම්රිය ස්ථානය ද නවීකරණය කිරීමට නියමිතව ඇති අතර, ඒ හරහා මුළු පිටකොටුව ප්‍රදේශයම ජාත්‍යන්තර මට්ටමේ ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස විකාශනය වනු ඇතැයි යන්න සියලු දෙනාගේ බලාපොරොත්තුවයි. අවශ්‍ය වන්නේ උසස් මානසිකත්වයක් සහ ස්වයං විනයක් සහිතව රටේ පොදු දේපල පරිහරණයට අවශ්‍ය සමාජ ආකල්ප වෙනසක් පමණි. මෙවැනි සම්පත් නිසි ලෙස පරිහරණය කළ නොහැකි පිරිස් විෂයෙහි දැඩි දණ්ඩනයක් සහිතව ශික්ෂණය කිරීමට අවශ්‍ය නෛතික රාමුවක් ද මේ සමග අවශ්‍ය වී ඇත.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් බස් නැවතුම ආරක්ෂා කරගන්නා ලෙස ලංගමට මගීන් වෙත කියන්නට සිදුවී ඇත්තේ ඒ නිසාය.







