පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමකින් තොරව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට නොගන්නා බවට තමන්ට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දිය නොහැකි බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ਸੁහර්ෂි හේරත් මෙම දැනුම්දීම සිදු කළා ය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.
එහිදී සාමාජික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ, පෞද්ගලික හේතු මත තමන් මෙම නඩු විභාගයට සහභාගී නොවන බවයි.
සිය සේවා දායකයා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස තමන් අධිකරණයෙන් ඉල්ලා සිටින බව පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ය.
කෙසේ වෙතත් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් පැවසුවේ, මෙම නඩුකරයට අදාළ ලේඛන තමන්ට ලැබුණේ එදින පෙරවරුවේ බවත් වගඋත්තරකරුවන්ගෙන් තමන්ට කිසිදු උපදෙසක් මේ දක්වා ලැබී නොමැති බවත් ය.
වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලැබී නොමැති නම් පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබා දීමට නීතිපතිවරයාට හැකියාව තිබෙන බව මෙහිදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයේ අවධානය යොමු කරමින් සඳහන් කළේ ය.
එහෙත්, වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමකින් තොරව මෙම පෙත්සම්කරු අත්අඩංගුවට නොගන්නා බවට තමාට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දිය නොහැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අවධාරණය කළා ය.
ඊයේ සිදුවුන දේ
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදුකරන විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.
මෙම නීතිමය ක්‍රියාවලිය සඳහා පදනම් වී ඇත්තේ 2024 ඔක්තෝබර් 11 වැනිදා සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රන්මුණි ජූඩ් වර්ණන් සිල්වා පියතුමා බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ (Channel 4) නාලිකාවේ විකාශය වූ කරුණු පදනම් කරගෙන සිදුකළ පැමිණිල්ලකට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශන ආරම්භ කිරීමයි.
පොලිසිය විසින් අධිකරණයට කරුණු පැහැදිලි කරමින් පාස්කු ප්‍රහාරය සහ ඊට සමගාමී පූර්ව හා පසු සිදුවීම් ප්‍රබල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවට අතිශය සංවේදී කරුණු අනාවරණය කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා ඇත්තේ පුබාලපිල්ලේ ප්‍රශාන්තන්, කුමාරසාමි පුෂ්ප කුමාර්, නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුමිත් ප්‍රසාද් රණසිංහ සහ අසාද් මවුලානා යන අයගේ ප්‍රකාශ මඟින් මෙම සංවේදී කරුණු හෙළි වී ඇති බවය.
එම කරුණු අනුව, දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරු වන තුවාන් සුරේෂ් සලේ නමැත්තාගේ සැලසුම්ගත සම්බන්ධීකරණය සහ මෙහෙයවීම මත මෙම ප්‍රහාර මාලාව සිදුවී ඇති බවටත්, ඊට හිටපු ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ප්‍රේම් ආනන්ද උදලාගම සහ රිසාන් ටිරෝෂාන් අන්සාර් යන අයගේ සෘජු හෝ වක්‍රාකාර සම්බන්ධතාවයක් හෝ දැනුවත්භාවයක් පැවතිය හැකි බවට සාධාරණ සැකයක් මතුව ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබේ.
විමර්ශන කටයුතු මඟහරිමින් මෙම පුද්ගලයින් සැලසුම් සහගතව විදේශගත වීමේ අවදානමක් පවතින බවට ප්‍රමාණවත් තොරතුරු ලැබී ඇති බැවින්, ඔවුන් විදේශගත වුවහොත් විමර්ශනයට බරපතළ අගතියක් විය හැකි බව පවසමින් මොවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වමින් මහෙස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කර ඇත.
මෙම විදේශ ගමන් තහනම සහ අත්අඩංගුවට ගැනීමේ අවදානම හමුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඥානේන්ද්‍ර ශානි අබේසේකර, එහි විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති. තමන් අත්අඩංගුවට ගැනීම හෝ පාස්කු ප්‍රහාරයට අදාළව තම නිදහස අහිමි කිරීම වළක්වන තහනම් නියෝගයක් සහ මෙම පෙත්සම විභාග කර අවසන් වන තෙක් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරු අධිකරණයෙන් සහනයක් ලෙස ඉල්ලා තිබේ.
මීට අමතරව, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ 2019 ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව, බුද්ධි සම්බන්ධීකරණ කමිටු වාර්තාව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සහ චැනල් ෆෝ නාලිකාවේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටු වාර්තාව යන ලේඛන අධිකරණයට කැඳවන ලෙස ද ඔහු ඉල්ලීමක් කර ඇත.
සිය පෙත්සම මඟින් කරුණු දක්වන ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරන්නේ තමන් කිසිදු ආකාරයකින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නොමැති බවයි. මේ දක්වා එම චෝදනා සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රශ්න කර නොමැති අතර ඕනෑම අවස්ථාවක අදාළ බලධාරීන් හමුවේ ප්‍රශ්න කිරීම් සඳහා පෙනී සිටීමට තමා සූදානම් බව ද ඔහු පවසයි. විදේශ ගමන් තහනම ඉවත් කළ ද අධිකරණයට දැනුම් දීමකින් සහ නීතිපතිවරයාට නොතීසි නිකුත් කිරීමකින් තොරව තමන් රටින් පිට නොවන බවට ඔහු අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී ඇත. එමෙන්ම විදේශගතව සිටින අසාද් මවුලානා හැර වෙනත් කිසිදු සාක්ෂිකරුවකු තමන් නොදන්නා බවත්, මවුලානාව තමන් කිසිදිනක මුණගැසී නොමැති බවත්, කිසිදු සාක්ෂිකරුවකුට බලපෑම් නොකරන බවටත් පෙත්සම්කරු සහතික වෙයි.
බලධාරීන් සද්භාවයෙන් ක්‍රියා නොකරන බව පවසන ගෝඨාභය රාජපක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ශානි අබේසේකර තමන් කෙරෙහි වෛරයකින් සහ ද්වේෂයකින් කටයුතු කිරීමට ඉඩ ඇති බවට ද චෝදනා කරයි. තමන් ජනාධිපතිවරයා ලෙස පත්වූ වහාම ශානි අබේසේකරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කළ බවත්, එම ඉවත් කිරීම තමන් විසින් සිදුකළ බවට ඔහු විශ්වාස කරන බවත් පෙත්සමේ දක්වා ඇත.
එපමණක් නොව, තම පාලන සමයේදී 2020 ජූලි 31 වැනිදා බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවක් මත ශානි අබේසේකර අත්අඩංගුවට ගත් බවත්, දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මඟින් ද ඔහුට එරෙහිව නිර්දේශ ලබා දී තිබූ බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ශානි අබේසේකර විශ්‍රාම යෑමෙන් පසුව වත්මන් රජය විසින් ඔහු නැවත එම තනතුරට පත්කර ඇති බවත්, ඔහුගේ මෙහෙයවීම යටතේ අපක්ෂපාතී ස්වාධීන විමර්ශනයක් අපේක්ෂා කළ නොහැකි බවත් පෙත්සම්කරු තර්ක කරයි. තවද, ජීවිත තර්ජන ඇතැයි පවසමින් ස්විට්සර්ලන්තයේ රැකවරණය පතන අසාද් මවුලානා, ප්‍රංශයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී විමර්ශන නිලධාරීන් හමුවී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව ද පෙත්සමේ සඳහන් වේ.
අසාද් මවුලානා විසින් 2023 සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ආසන්නයේදී චැනල් ෆෝ නාලිකාවට කළ ප්‍රකාශය හැරෙන්නට, තමන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට වෙනත් කිසිදු සාක්ෂියක් නොමැති බව ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ අනෙකුත් ජනාධිපති කොමිෂන් සභා වාර්තා මඟින් හිටපු බුද්ධි නිලධාරීන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම් සහ නොසැලකිලිමත්භාවය පැහැදිලිව පෙන්වා දී ඇති බව ඔහු සඳහන් කරයි.
විශේෂයෙන්ම තම පාලන සමයේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් කිරීමේ හැකියාව පිළිබඳව අමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයෙන් (FBI) කළ විමසීමකදී, එහි නිලධාරියකු වන ක්‍රිස්ටෝපර් ලෑන්ඩ්බර්ග් විසින් ඒ වන විටත් පූර්ණ විමර්ශනයක් කර ඇති බැවින් නැවත විමර්ශනයක් කිරීම තේරුමක් නොමැති බව දන්වා එවා ඇති බව ද පෙත්සම්කරු පෙන්වා දෙයි. ඒ අනුව තමන් අත්අඩංගුවට ගැනීමට ගන්නා උත්සාහය නීතිවිරෝධී, අතාර්කික, අත්තනෝමතික සහ තම මූලික අයිතිවාසිකම් උල්ලංඡනය කිරීමක් බව ඔහු සිය පෙත්සමෙන් තර්ක කර තිබේ.







