එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මහජනතාවට පහසුව සැලසීමේ අරමුණින් පෙට්‍රල් බලගැන්වූ වාහන සඳහා ක්‍රියාත්මක QR කේත පද්ධතිය තාවකාලිකව අත්හිටුවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
අද (අප්‍රේල් 11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කළේ, අප්‍රේල් 11 වන දින මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 වන දින දක්වා මෙම ලිහිල් කිරීම ක්‍රියාත්මක වන බවයි.
- ඔත්තේ-ඉරට්ටේ ක්‍රමය නොවෙනස්ව
QR පද්ධතිය තාවකාලිකව අත්හිටුවුවද, ඉන්ධන පිරවුම්හල් අසල තදබදය පාලනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමවේදය තවදුරටත් නොවෙනස්ව පවතිනු ඇත. ඒ අනුව වාහන අංක තහඩුවේ අවසාන අංකයට අදාළ දිනවල පමණක් පාරිභෝගිකයින්ට ඉන්ධන ලබාගැනීමට අවස්ථාව හිමි වේ.
- ප්‍රමාණවත් ඉන්ධන තොග අතැති බවට සහතිකයක්
රට තුළ පවතින ඉන්ධන තොග පිළිබඳව අදහස් දක්වමින් සංස්ථා බලධාරීන් පෙන්වා දෙන්නේ මේ වන විට දිවයිනට ලැබී ඇති සහ ඉදිරියේදී ලැබීමට නියමිත ඉන්ධන නෞකා හේතුවෙන් අප්‍රේල් මස අවසානය දක්වා ප්‍රමාණවත් තොග පවතින බවය.
ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මීට පෙර සඳහන් කළ පරිදි, මාර්තු මාසයේ ඇණවුම් කළ ඉන්ධන තොග ප්‍රමාදයකින් තොරව අප්‍රේල් සහ මැයි මාස සඳහා ලැබීමට නියමිතය.
මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් සැපයුම් ජාලයට එල්ල විය හැකි බලපෑම් කළමනාකරණය කරගැනීමට පසුගිය මාර්තු 15 වැනිදා සිට QR පද්ධතිය යළි හඳුන්වා දීමට පියවර ගැනුණි.
කෙසේ වෙතත්, උත්සව සමයේ ජනතාවගේ ගමන් බිමන් පහසු කිරීම උදෙසා මෙම ලිහිල් කිරීම සිදු කළ බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.







