ගනේමුල්ල ප්‍රදේශයේදී රුපියල් කෝටි ගණනක් වටිනා කොකේන් සහ මත්පෙති තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකාරියකට ආධාර අනුබල දුන් ඇගේ ස්වාමිපුරුෂයා සහ පුත්‍රයා ඉන්දියාවේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු ඊයේ (28) කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ජනවාරි 29 වනදා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් ගනේමුල්ලේදී සිදුකළ වැටලීමකදී කොකේන් කිලෝ 4යි ග්‍රෑම් 423ක් සහ මත්පෙති 3450ක් සමඟ කාන්තාවක අත්අඩංගුවට ගැනුණි. ඇයගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ මෙම ජාවාරම සඳහා ඇයගේ ස්වාමිපුරුෂයා සහ පුත්‍රයා සෘජුවම සම්බන්ධ වී ඇති බවය.
අදාළ සැකකරුවන් දෙදෙනා නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගොස් සැඟව සිට ඇති අතර, ඉන්දීය ආරක්ෂක අංශ විසින් පසුගිය මාර්තු 24 වනදා ඔවුන්ව එරටදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් අනතුරුව ඊයේ (28) දින ඔවුන්ව මෙරටට පිටුවහල් කිරීමට පියවර ගෙන ඇත.
කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් මොවුන්, වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ 57 යන වයස්වල පසුවන දෙදෙනෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.







