කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 42 දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
දියතලාව දුම්රිය පොළ ආසන්නයේදී අද අලුයම 1.10ට පමණ මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පිරිස වහාම දියතලාව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධව අදහස් දක්වමින් දියතලාව මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඩබ්ලිව්. කේ.එල්.එම්. වීරසේකර සඳහන් කළේ අනතුරින් පුද්ගලයින් 42ක් රෝහල් ගත කර ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත්ය.
ඒ අනුව එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත මාරු කර යවා ඇත. තවත් පුද්ගලයින් 8 දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර සෙසු පිරිසගේ තත්ත්වය සාමාන්‍ය බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.







