බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද පාස්කු ප්‍රහාරයේ හත්වන සිහිකිරීමේ දී කාදිනල් තුමා ඇත්තටම රටට කීවේ කුමක් ද?… සම්පූර්ණ කතාව කියවන්න…

by editor
අප්‍රේල් 21, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

2019 පාස්කු ඉරුදින එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට වසර හතක් සපිරෙන අද දින (21), ඒ වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන සැමරුම් උත්සවය අමතමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතිශය තීරණාත්මක සහ සංවේදී ප්‍රකාශයක් සිදු කළහ. කොළඹ 13, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ දී පැවැති මෙම සැමරුම් දේශනයේ දී උන්වහන්සේ අවධාරණය කළේ, රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාමය ඉඩකඩ ඕනෑවටත් වඩා පවතින පසුබිමක, එම නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින ආයතන පද්ධතිය බලය සහ මූසාවාදය හමුවේ දණගසා ඇති බවයි. ඇතැම් බියගුලු නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් සත්‍යය යටපත්ව ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ, මේ මහා විනාශයේ සැබෑ තොරතුරු හෙළිදරවු වන්නේ කවදාද යන්න අදටත් විශාල ප්‍රශ්නාර්ථයක්ව පවතින බව ප්‍රකාශ කළහ.

රටේ සිදුවූ වෙනත් ඝාතන සහ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන ඇතැම් පාර්ශව, පාස්කු ප්‍රහාරය පිළිබඳ ස්වාධීන විමර්ශන පවත්වන නිලධාරීන්ට බාධා පමුණුවමින් එම ක්‍රියාවලිය අඩපණ කිරීමට වෙර දරන්නේ මන්දැයි තමන් වහන්සේට වටහාගත නොහැකි බව කාදිනල් හිමිපාණෝ මෙහිදී ප්‍රශ්න කළහ. විශේෂයෙන්ම ඇතැම් දේශපාලන බලවේග විසින් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට බාධා කිරීම, විමර්ශන දත්ත ගැඹුරින් අධ්‍යනය කිරීම නතර කිරීමට උත්සාහ කිරීම සහ තීරණාත්මක සාධක මකා දැමීම වැනි කූට උපක්‍රම භාවිත කරන බව උන්වහන්සේ පෙන්වා දුන්හ. කිසිදු විමර්ශනයකින් තොරව පූර්ව නිගමනවල පිහිටා සකස් කරන ලද “ප්‍රබන්ද” ජනගත කරමින් මූසාව රජ කරවීමටත්, විමර්ශනවලට දේශපාලනිකව ඇඟිලි ගැසීමටත් දරන උත්සාහයන් මෙහිදී උන්වහන්සේගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.

පසුගිය 2024 වසරේ බලයට පත් වත්මන් රජය පාස්කු විමර්ශන සම්බන්ධයෙන් වඩාත් සුබවාදී සහ සාධනීය පිළිවෙතක් අනුගමනය කරන බව පිළිගත යුතු වුවත්, එම ගමන් මඟට එල්ල වන බාධාවන් පිළිබඳව ද උන්වහන්සේ අනතුරු ඇඟවූහ. විශේෂයෙන්ම පවතින පාලන ව්‍යුහය තුළ සිටින ඇතැම් “පාර රාජ්‍ය” නිලධාරීන් මෙම යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට විවිධ බාධක පමුණුවමින් සිටින බව උන්වහන්සේ පැහැදිලි කළහ. මෙහිදී උදාහරණයක් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ, තම වගකීම් පැහැර හැර ඇති බවට ජනාධිපති කොමිෂන් සභාව විසින් නිර්දේශ කර ඇති හිටපු ජනාධිපතිවරුන්, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ පොලිසියේ ඉහළ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට පැහැදිලි නිර්දේශ ලැබී තිබියදීත්, එම දෙපාර්තමේන්තුව අද වනතුරුත් ඒ පිළිබඳව මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරමින් කල් මරමින් සිටීම කණගාටුදායක තත්ත්වයක් බවයි.

කාදිනල් හිමිපාණන් අද කළ සම්පූර්ණ කතාව මෙසේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

වැඩමකර වදාළ අති පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමිපාණන් ප්‍රමුඛ ගැරතර සංඝයා වහන්ස, ශ්‍රී ලංකාවේ අපෝස්තලික තානාපති අති උතුම් අන්දේ ජොස්ලොවික්ස් හිමිපාණනි, කොළඹ දියෝකීසියේ අති උතුම් දුෂාන්ත රුද්‍රිගු හිමිපාණනි, කොළඹ පදවි සහයක රදගුරු හා මඩකලපුව පදවි අපෝස්තලික පරිපාලක අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණනි, ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත අන්ද්‍රේ ෆ්රැන්ච් මහතාණෙනි, ගරු. කන්නන් කුරුක්කල් තුමෙනි, ගරු. මසූක් සජීර් මවුලවි තුමෙනි, ගරු පියවරුනි, ගරු පැවිදි සොහොයුරු සොහොයුරියනි, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ පවුල්වල ඥාතීනි, සම්භාවනීය තානාපතිවරුනි, මැති ඇමතිවරුනි, සම්භාවනීය අමුත්තනි, සහෝදර සහෝදරියනි,

බෝම්බ ප්‍රහාරය

2019 වසරේ අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරයට වසර 7ක් සම්පූර්ණ වන මෙදින, මෙම සැමරුම් උත්සවය සඳහා පැමිණි ඔබ සැම, පළමුව ස්තුති පූර්වකව පිළිගන්නට කැමැත්තෙමි.

මෙම විනාශකාරී ප්‍රහාරය තුළින් වටිනා මිනිස් ජීවිත 278ක් ඝාතනය කරනු ලැබූ බවද පන්සියයකට අධික පිරිසක් පූර්ණ ආබාධිත තත්වයට හෝ අර්ධ ආබාධිත තත්වයට ඇද දමනු ලැබූ බවද, රටතුළ තිබූ ආර්ථික ප්‍රගතියේ ගමන් කඩා වැටීමකට ලක් වී, 30 වසරක භයානක යුද්ධයෙන් පසු ජාතීන් හා ආගම් අතර යලි ගොඩනැගෙමින් තිබූ සාමකාමී සහජීවන රටාව භයානක ලෙස පළුදු වූ බවද, නොරහසකි. අප මේ සැමරුම පවත්වන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේදීද, මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේදීද, පෙන්තකොස්ත සභාවට අයත් මඩකලපුව සියොන් දේවස්ථානයේදීද, සිනමන් ග්‍රෑන්ඩ්, ෂන්ග්‍රිල්ලා හා කිංස්බරි යන සංචාරක නිකේතනවලද, පසුව දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේදීද සිදු වූ බෝම්බ පිපිරීම් හතක් තුළින් අප දෙරණිතලය ලෙයින් තෙත්වී ගියේ මේ දේවස්ථාන තුළ පාස්කු දේව මෙහෙය සඳහා පැමිණි අහිංසක බැතිමතුන් මෙන්ම ඉහත කී සංචාරක නිකේතනවල සිටි අහිංසක සංචාරකයින් හා සේවකයින් අමු අමුවේ ඝාතනයට ලක්වීම තුළිනි. මේ පිරිස තුළ කුඩා ළමුන් 68ක් සිටි බවද, අපි මේ මොහොතේදී සිහිපත් කරමු. විදේශීය රටවල් 14 ක් සංචාරකයින් 45 දෙනෙකුද මිය ගිය අය අතර සිටියහ.

සැඟවුණු ඉලක්කය

මෙම ප්‍රහාර තුළින් එදා වන විට රට තුළ පැවති සාමය හා සහජීවනය කෙසේ හෝ බිඳ දැමීමට ඉතා සියුම් උත්සාහයක් හා කුමන්ත්‍රණයක් තිබූ බවට පැහැදිලි වන්නේ, ප්‍රහාරයෙන් පසු අපි, ආගමික නායකයන් ලෙසල එදා එක් වී, රටේ පොදු ජනතාවගෙන් සාමකාමීව සිටින ලෙස කළ ඉල්ලීම පිළිගනු ලැබීම තුළ සිය බලාපොරොත්තු සුන් වූ බව දුටු මේ කුමන්ත්‍රණකරුවන්, එයට සති  දෙකකට පසු එනම්, 2019 මැයි මස 5 වන දින රාත්‍රී භාගයේ මීගමුව පෝරුතොට ප්‍රදේශයේදීද, ඉන් අනතුරුව පැමිණි සතියේ එනම් මැයි 11, 12 හා 13 යන දිනයන්හීද නාත්තන්ඩිය, මාදම්පේ කොටාරමුල්ල, දංකොටුව, මිනුවන්ගොඩ යන ප්‍රදේශවලදීද, නැවත නැවතත් මුස්ලිම් ජනතාවගේ නිවෙස් වලට ගල් ගසමින්දල කඩ සාප්පු ගිනිබත් කරමින්ද  ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කළ නිසාය.

ප්‍රධාන ප්‍රහාරයෙන් පසුව සිදුවූ මේ අනිකුත් ප්‍රහාර පිළිබඳව ජනාධිපති කොමිෂන් සභා අවසාන වාර්තාවේ පළමුවන වෙළුමේ, 27 වන පරිච්ඡේදය, පැහැදිලිව සඳහන් කර ඇත.

මෙහිදී ඇතැම් පොලිස් නිලධාරීන් හා ආරක්ෂක අංශ, තත්වය පාලනය කරගන්නට කිසිවක් නොකර, වගකීම් පැහැර හැරිය බවට වාර්තාව පැහැදිලිව සඳහන් කර ඇත. මේ සිද්ධීන්හා පාස්කු ප්‍රහාරය අතර කිට්ටු සම්බන්ඳතාවයක් ඇතිබව පැහැදිලිවේ. ඒ නිසා මේ සිද්ධීන් පිටුපස සිටියේ කවුරුන්දැයි සොයා බැලීම වැදගත් වන බව මම සඳහන් කර සිටිමි. මේ ගැටුම් ආරම්භ වූ සැණින්ම නවතා දමන්නට කටයුතු නොකරන ලෙස, නීතිය සුරැකීමට බැඳී සිටින ආයතනවලට යමෙකු බලපෑම් කළේ දැයි සොයා බැලීමද මෙහිදී වැදගත් වේ.

කෙසේ හෝ රට තුළ ජාතීවාදී අරගලයක් හෝ ජාතීන් අතර යුද්‍ධමය තත්වයක් යලි ඇති කරන්නට, පාස්කු ප්‍රහාරයෙන් පසු ආගමීක නායකත්වය රට සංසුන් කරන්නට සමත් වීම නොරිස්සු පිරිස් ක්‍රියාකාරිවූ බව මේ සිධින් දෙස බලන අයට තේරුම් ගත හැකි වේ.

මේ පසුව සිදු වූ ප්‍රකෝප කිරීමේ සිද්ධීන් පිටුපස සිටි නොයෙකුත් පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට ජනාධිපති කොමිෂන් සභාවද තම නිගමන ඇතුළත් වෙළුමෙහි 27වන පරිච්ඡේදයේ නිර්දේශ කර ඇත. කෙසේ වෙතත් එදා පාස්කු ප්‍රහාරයෙන් පසු සිංහල ජනතාව හා මුස්ලිම් ආගමිකයින් අතර ඇතිවූ විරසකය හා බිය සැක භයානක අරගලයක් හෝ ගැටුමක් බවට පරිවර්තනය නොවුනේ අප හා එක්ව එදා සිටි, විශේෂයෙන් බෞද්ධ ආගමික නායකත්වය, එවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා පිට පිටම ඉල්ලීම් කළ නිසායයි කිව යුතු ය. ඒ සඳහා අප ආදර, අති ගෞරවනීය, කෝටිටේ ශ්‍රී කල්‍යාණ වංශ පාර්ශවයේ මහා නායක, අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමින් වහන්සේත්, අප සමග මෙහි වැඩමකර සිටින අති පූජ්‍ය ඕමල්පේ සෝබිත නායක ස්වාමින් වහන්සේත් ප්‍රමුඛත්වය ගත් බවට සිහිපත් කරන්නනේ ඉමහත් වූ සෙනෙහසිනි, ස්තූතිවන්ත සිතිනි.

ඝාතන සංස්කෘතිය

අපි අද මේ සැමරුම සංවිධානය කරමින් සියල්ලන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ භයානක ඝාතන පිටුපස ඇත්තේ කවුරුන්දැයි අපට එළිදරව් කරදෙන ලෙසය.  ශ්‍රී ලංකාව තුළ දශක ගණනාවක සිට සිදුවූ විවිධ ඝාතනයන්, අතුරුදහන් කිරීම් හා මිනිමැරුම් පිටුපස තිබුණේ කුමණ අරමුණක්ද,  එසේ කළේ කවුරුන්ද යන්න  සොයානොගෙන, සියල්ල කාලයේ වැලිතලාව තුළ සැඟවී යන්නට ඉඩදීම, අපගේ රටතුළ මෑත කාලයේදී බිහිවී ඇති අති භයානක ප්‍රවණතාවයකි.   මෙය හැත්තෑව දශකය තුළින් ඇරඹි, මේ නොබෝදා වනතුරුම පැවති භයානක ජාතික ව්‍යසනයකි.

මෙහිදී ක්‍රම ක්‍රමයෙන් හැමවිටම පාහේ දේශපාලන අත පෙවීම් තුළින්, දුර්වල කරනු ලැබූ නිතීයේ ආධිපත්‍යයේද, මමත්වයේද දේශපාලනික ඉච්ඡා භංගත්වයේද, මූසාව රජකරවීමේද, දාමරිකත්වයේද වහලෙකු බවට පත්ව තිබුණි.

සත්‍යය යටකරවීමට මූසාව පැතිරවීම, දූෂිත පරිසරයක් තුළ නීතිය පවා පාලනය කිරීමට දිරිමත්වීම, ධනය හා බලය දරන්නාට සියලු වරප්‍රසාද ලැබෙන අයුරින් සමාජය මෙහෙයවීම, ආදී දුර්ගුණයන් නිසා අප රට සීඝ්‍ර අහේනියකට ඇද වැටුනි. මේ අති විශාල සාර්ධර්ම පිරිහීම තුළ විනයානුකල බව, නීතියට ගරුකිරීමේ උතුම් ගුණය හා ශිලාචාර  ශිෂ්ඨ සම්පන්න හැසිරීම් රටාව, විශාල ලෙස අප රටෙන්  බැහැර විය.

මෙවැනි පරිසරයක ශ්‍රී ලංකාව තුළ පසුගිය දශක 4ක පමණ කාලයේදී සිදුවූ මිනිමැරුම්, අතුරුදහන් කිරීම් හා දූෂණ පිලිබඳ අවංක සොයාබැලීමක් සිදුකිරීම දුෂ්කරවී ඇත්තේ, මේ සැමදෙයක් පිටුපසම දේශපාලනීක ඇඟිලි  ගැසීම හා මුසාව ක්‍රියාකාරීවීම නිසායයි කිව යුතුය. වඩාත්ම භයානක ප්‍රවනතාවය වූයේ දේශපාලන බලය ඇති අය තමන් යටතේ සේවය කළ ආරක්ෂක අංශවල ඇතැම් නිලධාරින් තම දේශපාලනික අභිමතාර්ථයන් මුදුන් පත්කරගන්නට අතකොළු මෙන් යොදවා ගැනීමය. නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාමය ඉඩකඩ සකස්වී තිබුණත්, ඒ ඉඩකඩ විදහා දක්වන ආයතනද මූසාව හා බලය යන දුර්ගුණයන්ට යටවුණු, ඇතැම් බියගුලු මිනිසුන් ඒවා මෙහෙයවූ නිසා, සියල්ලේ සත්‍යය  හෙළිදරවු වන්නේ කවදාදැයි අප ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් මතුවී තිබේ. පාස්කු ප්‍රහාරයද එවැනි දුක්බරිත අත්දැකීමකි. එහි වින්දිතයින් විඳිනා දහදුක මේ කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට දැනෙනා අත්දැකීමක් වේදැයි ප්‍රශ්නයක් මතුවේ.

පාස්කු ප්‍රහාරය පිලිබඳ විමර්ශන, ඒ අදාළ නිලධාරින්ට නිදහසේ ඉදිරියට ගෙනයාමට ඉඩ නොදෙන්නට තරම්  කුරිරු සිතක් ඇත්තේ කාටදැයි අපට නොතේරේ. මේ රටේ සිදුවී ඇති වෙනත් විවිධ ඝාතන, අතුරුදහන් කිරීම් ආදිය පිලිබඳව පැවැත්වෙන විමර්ශන ගැන වචන මාත්‍රයකිනිදු අදහස් ප්‍රකාශ නොකරන ඇතැම් පිරිස්, පාස්කු ප්‍රහාරයේ විමර්ශන අදාළ නිලධාරින් මගින් ස්වාධීනව සිදුකරන්නට ඇති ඉඩකඩ අවහිර කරන්නට වෙරදරන්නේ ඇයි දැයි අපට නොවැටහේ. එම ප්‍රයන්තයන් තුළ මා දකින්නේ සත්‍යය වසන් කරන්නට හෝ විමර්ශන කඩාකප්පල් කරන්නට දරණ  උත්සාහයක්  පමණි. මෙහිදී ඇතැම් දේශපාලන බලවේග, ලද සාක්ෂි පිලිබඳ අදාළ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමට බාධා කිරීම, සොයාගත් කරුණු පිලිබඳව ගැඹුරු අධ්‍යනයක යෙදීම නතර කරවීමට  උත්සාහ කිරීම, ඇතැම් සාධක මකා දමා හෝ වෙනත් විමර්ශන අවශ්‍ය නැත, සිදුවුයේ මෙලෙස යයි, පූර්ව නිගමනයන් තුළින් ගොතන ලද  ප්‍රබන්ද ඉදිරිපත් කිරීම  ආදී, මුසාව රජ කරවීමේ ක්‍රමවේද තුළින්, විමර්ශනවලට ඇඟිලි ගැසීමට උත්සාහ කරන බව පැහැදිලිව පෙනේ. මෙයින් අපට තේරුම් ගත හැකිවන්නේ පාස්කු ප්‍රහාරය පිටුපස ඔවුන්  නියෝජනය කරන දේශපාලනීක බලවේග සිටියේද යන ප්‍රශ්නය යි. එසේ නොවේ නම් මෙම ප්‍රහාරය පිලිබඳ සත්‍ය සොයා යන ගමනට බාධා කිරීමට ඔවුන් මේ තරම් කැස කවන්නේ ඇයි දැයි අපට නොවැටහේ.

වෙනත් කරුණු

තවද, මේගැන පාස්කු ප්‍රහාරය පිලිබඳව සොයා බැලු ජනාධිපති කොමිෂන් සභාව පවා, තමන්ට කාලවේලා මදිකම හා වෙනත් විවිධ බාධා නිසා, ගැඹුරින් අධ්‍යනය කරන්නට නොහැකි වූ කරුණු කිහිපයක් පිලිබඳව, සිය වාර්තාවේ සඳහන් කර ඇත. ඒ අතර වාර්තාවේ පළමු වෙළුමේ පිටු අංක 96 යේ සඳහන් වන ” අබු හින්ද්” කවුරුන්දැයි සොයාගැනීම වැදගත් වේ. මේ පිලිබඳ සහරාන් හෂීම්ගේ බිරිඳ වූ හාදියා නැමති අය  දුන් සාක්ෂි හා ඇය පිලිබඳ තොරතුරු එම වාර්තාවේ 17 වන පරිච්චේදයේ 245 .246, 250 යන පිටුවලද 80, 81, 96 යන පිටුවලද දක්නට ලැබේ. එම සාක්ෂියේ හාදියා සඳහන් කර ඇත්තේ “අබුහින්ද්” යන අය සමඟ සහරාන් දුරකථනයෙන් කථා කල හැමවිටම, ඇයට එතැනින් බැහැර වන ලෙස සහරාන් ඇයට කී  බවය.

නිලන්ත ජයවර්ධන යන රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂව සිටි අයද, “අබුහින්ද්” නැමැත්තා ගැන සාක්‍ෂි දුන් බව කොමිෂන් සභාව සිය වාර්තාවේ 245 වන පිටුවේ සඳහන් කර ඇත. ”අබුහින්ද්” යන අනවර්ථ නාමයෙන් හැඳින්වූ තැනැත්තා කවුද, ඔහු මෙම ප්‍රහාරයට සම්බන්ද වුයේද, එසේ නම් ඒ කුමණ අයුරින්දැයි  යන කරුණු ගැනද මෙහිදී සොයා බැලිය යුතු වේ.

කොමිෂන් සභාව මේ ගැන නිර්දේශයක්ද තම වාර්තාවේ ඉදිරිපත් කර ඇත. එනම්:  “අබු හින්ද්ගේ අනන්‍යතාවය පිළිබඳව විමර්ශනය කරන බව පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ රහස් පොලිසිය විසින් සාක්ෂි ලබා දෙන ලදී. එම පරීක්ෂණ ඉදිරියට යායුතුය” ( පළමු වෙළුම පිටුව 250)

දෙවැනිව, ජනාධිපති කොමිෂන් සභා වාර්තාව කටුවාපිටිය දේවස්ථානය තුළ බෝම්බය  පුපුරුවාගත් හෂ්තුන්ගේ බිරියවූ  සාරා ජෙස්මින් ගැන මෙලෙස නිර්දේශ කර ඇත.

“පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සාරා ජිවතුන් අතර සිටින බව සාක්ෂි දුන් සාක්ෂිකරුවන් දෙදෙනකුගේ සාක්‍ෂි පරීක්ෂණ කොමිසම වෙත ලැබුණි. හාදියා සිය සාක්ෂියේ සඳහන් කර ඇත්තේ 2019 අප්‍රේල් 26 වන දින සයින්දමරුදුහී  සිදුවූ පිපිරීමෙන් පසු ඇය සිහිසුන් වූ බවය. ඇය  යථා තත්ත්වයට පත්වීමෙන් පසු සාරා මෙන් හඬ නගන කාන්තාවකගේ  හඬක්ද ඇසිණි.

සාරාගේ මව සමඟ කළ ඩි එන් ඒ විශ්ලේෂණයෙන්, පිපිරීමෙන් සාරා මියගිය බව තහවුරු වී නැත. මෙම සාක්ෂිය සැලකිල්ලට ගනිමින් පරීක්ෂණ කොමිසම නිර්දේශ කරන්නේ සාරා පිලිබඳ පරීක්ෂණ දිගටම කරගෙන යන ලෙසයි”. (පළමු වෙළුම, පිටු 251)

සාරා ජෙස්මින් මිය ගිය බවට ඇය පිළිබඳ ඩි.න්.ඒ. පරීක්ෂණ තෙවරක්ම පවත්වමින් පළමු පරීක්‍ෂණ මගින් ඇය නොමළ බවට එළිදරව් වූ කරුණු  තෙවන පරීක්ෂණයක් මගින් ව්‍යර්ථ කරන්නට ඇතැම් නිලධාරීන් ප්‍රයෝගකාරී උත්සාහයක යෙදුනේ කාගේ උවමනාවකටද,  ඇය මිය නොගියේ නම් ඇය දැන් ඉන්නේ කොහිද, ඇයට සිදු වූයේ කුමක්ද,  යන්න ගැන මෙන්ම, ඈ සොයා, ඇගෙන් මේ තොරතුරු ලබා ගැනීමටද විමර්ශකයින් ක්‍රියා කළ යුතු වේ. කටුවාපිටිය බෝම්බකරු හෂ්තුන්ගේ බිරිය ලෙස ඇය මේ ප්‍රහාරය ගැන බොහෝ දේ දන්නා බව සහතික විය හැකි වීම මේ කරුණේදී වැදගත්වේ.

තෙවැනිව,  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබූ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකව සිටි නිලන්ත ජයවර්ධන මහතාගේ ජංගම දුරකථන හා පරිගණකය  තුළ තිබූ සියලු දත්ත නැවත ඒවා කියවන්නට නොහැකි වන ලෙස මකා දමා තිබූ බවට ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් කුමාර යන අය 2020 දෙසැම්බර් 16 වන දින ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දුන්නේයයි සඳහන්වී ඇත. මේ දත්ත මකා දැමීම තුළ නිලන්ත ජයවර්ධන නමැති නිලධාරියා හිතාමතාම පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කිරීමට ක්‍රියා කළේද, එසේ වී නම් ඒ කුමන හේතුවක් නිසාද යන්න සොයා බැලීම අත්‍යාවශ්‍ය කරුණක් වේ.

වවුනතීවු මුරපොළේදී 2018 වසර අග භාගයේ සිදුවූ පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම පිටුපස සිටි සහරාන් හෂීම්ගේ කණ්ඩායම ආරක්ෂා කරමින් මෙම අපරාධයට හිතාමතාම එල්.ටී.ටී.ඊ සංවිධානයට බැර කිරීමට ආරක්ෂක අංශවල ඇතැම් නිළධාරීන් ක්‍රියා කළේ ඇයි දැයි සොයා බැලීමද පාස්කු ප්‍රහාරයේ සත්‍යය සොයා යාමේ වැදගත් සන්ධිස්ථානයක් වේ.  සිය වගකීම් පැහැර හැර විමර්ශන නොමග යැවීමට මෙවැනි  නිලධාරීන් ක්‍රියා කළේ කාගේ බලපෑමකට දැයි හොඳින් සොයා බැලිය යුතුවේ.

සතරවැනිව, මෙම ප්‍රහාර මාලාව පිළිබඳව ඉන්දීය රහස් ඔත්තු සේවය සතර වතාවක්ම, රාජ්‍ය බුද්ධි සේවය හා ඉහළ ආරක්ෂක අංශ මෙන්ම පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්ද, සිද්ධින්ට බොහෝ කලින්, දැනුවත් කර තිබුණද ඒ ගැන කිසිදු ක්‍රියා මාර්ගයක් නොගෙන, ආරක්ෂක විධිවිධාන තර නොකර, මෙම ප්‍රහාර ඉදිරියටම ගෙන යන්නට ඕනෑකමින් ඉඩදුන් ආරක්ෂක අංශවලල පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් පිටුපස යම් අදිසි හස්තයක් තිබුණේ දැයි විමසා බැලීමද අත්‍යාවශ්‍ය වේ.

පස්වැනිව, ඇමරිකාවේ එෆ්බිඅයි(FBI) බුද්ධි අංශය විසින් අපගේ (CID) නිලධාරීන්ට, සහරාන් හෂීම් සමග නිතරම කතා බහ කළ පුද්ගලයෙකු සම්බන්ධ අන්තර්ජාල ප්‍රොටෝකෝලය (අයි පි) ලිපිනයක් ලබා දුන් බවද, CID නිලධාරීන්  “එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටියදී, එම පුද්ගලයාගේ ක්‍රියාකාරකම් රහස්‍ය, හමුදා බුද්ධි අංශ ක්‍රියාන්විතයක කොටසක් නිසා, ඒවා ජාතික ආරක්ෂාවට බලපාන බවද ප්‍රශ්න කිරීම නතර කළයුතුය” (ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අංක 59) බවද යනුවෙන් ප්‍රකාශ කර  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පුද්ගලයා රඳවාගෙන ප්‍රශ්න කිරීම වැළැක්වීමට කටයුතු කළේ ඇයි දැයි යන්නද සොයා බැලිය යුතුවේ. එවැනි දෙයක් කිරීම තුළින් හමුදා බුද්ධි අංශයේ හා ආරක්ෂක අමාත්‍යාංශයේ ඇතැම් නිළධාරීන් ආරක්ෂා කරන්නට වෙර දැරුවේ කවුරුන් දැයි පැනයක් මතුවේ. මේ ගැනද විමර්ශනය කළ යුතු බව අපි සිතමු.

සයවැනිව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත්, ජාතික තව්හිඩ් ජමාත් සංවිධානය සමග සබඳතා පැවැත්වූ ” මාතලේ සහරාන්” හෙවත් ” පොඩි සහරාන්”  සමග දිගින් දිගටම සබඳතා පැවැත්වූ ” සොනික් සොනික්”  නැමැති සංකේත නාමයෙන් හැඳින්වූ පුද්ගලයා භාවිතා කළ සිම් කාඩ් පත ඔස්සේ කළ විමර්ශන මගින් එම පුද්ගලයා පොලිස් පරීක්ෂක බණ්ඩාර නැමැත්තා බවට හඳුනා ගනු ලැබීය.  ඔහු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සිටි නිලධාරියෙකි. ඔහුගෙන් ප්‍රශ්න කිරීම සිදුකරගෙන යන අතරතුර සොනික් . සොනික් සහ පොඩි සහරාන් අතර තිබූ සම්බන්ධතාවය ජාතික ආරක්ෂාව සමග සෘජු සම්බන්ධතාවයක් ඇති රහස්‍ය ක්‍රියාවන්විතයක් වූ නිසා ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න නොකරන්නැයි රාජ්‍ය බුද්ධි සේවයේ එවක නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ මහතා විසින් (CID) විමර්ශකයන්ට දන්වා තිබුණි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දින ගණනකට පසුව එම ප්‍රහාරය තමන් විසින් කරන ලද ප්‍රහාරයක්ය යන වගකීම භාරගන්නා ලෙස ISIS සංවිධානයෙන් ඉල්ලා සිටින ලෙසත්, ඒ සඳහා එම සංවිධානයේ නායකයෙකු හට දුරකථන ඇමතුමක් ලබා ගන්නා ලෙසත් සොනික් . සොනික්  හෙවත් පොලිස් පරීක්ෂක බණ්ඩාර විසින් පොඩි සහරාන් හෙවත් මාතලේ සහරාන්ට බල කළ බවද සඳහන් වේ.

මෙම පාස්කු ප්‍රහාරය අයි එස් අයි එස් සංවිධානය බාරගත යුතුයැයි පෙරැත්ත කිරීමට රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සිටි පොලිස් පරීක්ෂක බණ්ඩාරට තිබූ උවමනාව හා උනන්දුව කුමක් නිසා දැයි විග්‍රහ කිරීමද  මෙහිදී වැදගත් වන්නේ ය.

සත්වැනිව, 2019 අප්‍රේල් මස 5 වන දින අළුයම 3.00ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිටවීමේ දොරටුව අසලදී සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂණයට භාජනය කිරීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු උත්සාහ කළ විට, එම ලොරි රථයට, පරීක්‍ෂාවකින් තොරව, යන්නට ඉඩ දෙන්නැයි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය දුරකථන ඇමතුමකින් අණ කළේ ඇයි දැයි සොයාබැලීමද, ඒ ලොරි රථෙයේ ප්‍රවාහනය කළේ කුමක්ද, එම රථය පානදුර ප්‍රදේශයේ නිවෙසකට ගෙනැවිත් ගොඩබැවේ මොනවාද ඒ නිවස තුළ සිටි අය කවුරුන්ද, ඒ ගොඩ බෑ දේ වෙනත් තැනකට ගෙන ගියේද, ඒ කොයි ස්ථානයකටදැයි විමසා බැලීම අත්‍යවශ්‍ය වේ. අළුයම 3ට මේ නියෝගය ලබාදීමට තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පති තුමා ක්‍රියාකාරීවූයේ ඇයි දැයි සොයා බැලිය යුතුවේ. සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදී කණ්ඩායම පානදුර වලාන ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන පාස්කු ප්‍රහාරයට පෙර දිනවලදී එහි විසූ බවට කරුණු ඉදිරිපත්වීම තුළ මෙය අත්‍යාවශ්‍ය වන බව පැහැදිලිය.

වින්දිත වේදනාව

වසර ගණනාවක් පුරාවට මේ ප්‍රහාරයේ වින්දිතයන් එයින් මියගිය තමන්ගේ ආදරණීය භාර්යාවන් ස්වාමි පුරුෂයින්, දරුවන් වෙනුවෙන් අපමණ දුක් විඳිති, සුසුම්ලති, අප වෙත පැමිණ සිය දුක හා වේදනාව මෙන්ම මේ මහා අපරාධයේ සත්‍යය සහ යුක්තිය කවදා ඉටුවේදැයි අපෙන් විමසති.  එදා සිටි අද දක්වා මේ ගැන විමර්ශනය කළ රාජ්‍ය මට්ටමේ කමිටු, කාරක සභා හා කොමිෂන් සභා තුනකි. කමිටුද කිහිපයකි.  අවසානයේදී පවත්වන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිගමන ඇතුළත්  පලමු වෙළුම පිට වී දැන් වසර 5කි. එහෙත් අනිත් වෙළුම් තවම සැඟවී ඇත.

රහස්‍යභාවය තුළ මෙකී  භයානක සිදුවීම පිළිබඳව සත්‍යය යුක්තිය ඉටු වන්නේ කවදා දැයි අප සිතට වද දෙන කරුණක් වී ඇත. කතෝලික සභාවද මේ ව්‍යසනයෙන් මරණයට පත් වූ තුවාල ලද වැඩිදෙනෙක් කතෝලික බැතිමතුන් වූ නිසාද, මේ ප්‍රහාර අපගේ දෙව් මැදුරු තුළ කිතුනු අපගේ අති උතුම් වූ පාස්කු ඉරුදින ප්‍රධාන දේව මෙහෙයන් තුළදී සිදු වූ නිසාද, මේ මරණ පිටුපස ඇති බලවේග කුමක්දැයි සොයා ගැනීම වින්දිතයන්ගේද, අපගේද, මූලික අයිතිවාසිකමක් ලෙස දකිමු.

මේ මහා ඝාතන රැල්ල හා විනාශය පිටුපස සිටින සියලුම බලවේග හා පුද්ගලයින් සොයා හඳුනා ගැනීම ව්‍යසනයට ගොදුරු වූ අයගේ පමණක් නොව එයින් බරපතල ලෙස වික්ෂිප්තයට පත් වූ අපගේද, මේ රටේ සියලුම පුරවැසියන්ගේද අයිතියක් වන බවද එහිදී යුක්තිය සැමට සාධාරණත්ව ඉටුකරදීම රට කරවන අයගේ යුතුකම බව කිව යුතුය.

සත්‍ය වසන් කිරීම

අද පවතින රජයට පෙර, 2019 වසරේ සිට පිහිටි සියලුම රජයන් මේ මිනිමරු ප්‍රහාරයන්ගේ සත්‍යතාවය පසු පස යෑමට දැක්වූ උවමනාව ඉතා අල්ප මට්ටමක පැවතී බවත්, බොහෝ දුරට ඒ ඒ ජනාධිපතිවරුන් හා පොලිස්පතිවරුන් මෙන්ම නීතිපතිවරුන්ද, මේ පිළිබඳ විමර්ශන නොසලකා හරින්නට හෝ කඩාකප්පල් කිරීමට යොදාගත් උපාය මාර්ගය වූයේ තමන්ට රිසි වන නිඟමන ලබා ගත හැකි කමිටු පත් කිරීම, හා විටින් විට නැගෙන විරුද්ධ තාවලට තාවකාලික පැලැස්තර අලවා, ඒවාට පිළිතුරු නොදීමට උත්සාහ කිරීම මෙන්ම, ප්‍රයෝගකාරී උප්පරවැට්ටි මගින්, විමර්ශන බොඳකර දැමීම ය.

පසුගිය 2024 වසරේ බලයට පැමිණි, දැන් පවතින වත්මන් රජය මේ පිළිබඳව වඩාත් සුබවාදී පිළිවෙතක් අනුගමනය කරන බව පිළිගත යුතු ය. එහෙත් ඒ ගමන් මගට විවිධ අයුරේ බාධක ගෙන එන්නට ඇතැම් “පාර රාජ්‍යයේ” නිලධාරීන් ක්‍රියාත්මක වෙමින් සිටිති.

උදාහරණයක් ලෙස ගතහොත්, නීතිපතිතුමන්ට හා එම දෙපාර්තමේන්තුවට ජනාධිපති කොමිෂන් සභාව විසින් තම වගකීම පැහැර හැරි ජනාධිපතිවරුන් හා ආරක්ෂක අමාත්‍යාංශයේද පොලිසියේද ඇතැම් නිලධාරීන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග දියත් කරන්නට කටයුතු කරන ලෙස පැහැදිලි නිර්දේශ ලැබ දී ඇතත්, අද වනතුරුත් එම දෙපාර්තමේන්තුව ඒ ගැන කල් මරමින් සිටින බව කණගාටුවෙන් වුව ප්‍රකාශ කල යුතු වේ.

මේ අතරම දැන් දැන් පැවැත්වෙන විමර්ශන තුළින් පාස්කු ප්‍රහාරය සඳහා සෘජුවම සම්බන්ධ වී යයි සාක්ෂි මතු වී ඇති ඇතැම් ප්‍රභූ පෙළේ නිලධාරීන් පිළිබඳ, විශේෂ වශයෙන්, එංගලන්තයේ චැනල් 4 නාලිකාව, ප්‍රහාරය පිළිබඳව ඉදිරිපත් කළ වැඩසටහන තුළ මතු වූ කරුණු අලලා කෙරෙන විමර්ශන පිළිබඳව බියක් හා චකිතයක් ඇතිකර ගත් ඇතැම් දේශපාලකයින් සහ දේශපාලනික බලවේග වෙනුවෙන් පෙනී සිටින්නන්, එම විමර්ශන කඩාකප්පල් කිරීමට දරණ විවිධ බොළඳ ප්‍රයත්න උත්සන්න වෙමින් පවතින්නේ  මේ ගැන තමන්ගේ නිරුවත එළිදරව් වෙන බව වැටහෙන නිසාදෝ, ඔවුන්ම මවා ගන්නා ප්‍රබන්ධ ඔස්සේ සත්‍යය යට ගැසීමට බොළඳ උත්සාහයක යෙදෙමිනි.

නිතිය සැමට පොදුයි…

එවැනි පසුබිමක තරාතිරම නොබලා, මේ සිද්ධීන්ට සම්බන්ධ වූවන් ගෙන්වා හෝ තමන් බාරයට ගෙන හෝ ප්‍රශ්න කිරීමේ වරදක් නැත. අවශ්‍යය වන්නේ සත්‍ය සෙවීමයි. ඒ සඳහා අවංක ලෙස ක්‍රියාකාරිවන විට, මේ කුමණ්ත්‍රණනවලට සම්බන්ධවූ ඇතැම් දේශපාලනික බලවේග කුලප්පුවීම බලාපොරොත්තු විය හැකි දෙයකි. එසේ නොවන්නේ නම් මේ පිලිබඳව දුර්මත නිර්මාණය කරමින් විමර්ශන නොමග යවන්නට ඔවුන් උත්සහ කරන්නේ ඇයි දැයි තේරුම් ගත නොහැක. මෙවැනි අයට පැහැදිළිව කිව යුතු දෙයක් ඇත. මේ ප්‍රහාර නිසා විපතට පත්වූ සියගනන් මිනිසුන් අදටත් විදින වේදනාව හා අගතිය අතිමහත්ය.

මේ කරුණේදී නීතිය සියල්ලන්ට එක හා සමාන වන බව කවුරුත් තේරුම් ගත යුතුය. විමර්ශන, සත්‍ය වෙත අප මෙහෙයවන සෑම කරුණක් වෙතම යොමුවිය යුතුවේ. එය ස්වල්ප දෙනෙකු විසින් තොරාගන්නා ලද කරුණු කිහිපයක් මත පදනම්ව, තමන්ගේ මතය ඉස්මතුවන අයුරින් මෙහෙය වීම සුදුසු නොවේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කෙලින්ම හෝ වක්‍රව මෙම මිනිමැරුම් පිටුපස සිටියෝ කවුරුන්දැයි සොයාබැලීම සඳහා අදාල සියලු කරුණු සිය විමසුම් ඇසට යොමුකළයුතුය. සත්‍යය යනු එකකි. එය තමන්ට රිසිලෙස ගොඩනැගිය නොහැක.

මේ සඳහා අයෙකු ඉහල වගකීමක් දැරුවෙක් ද, දේශපාලනීය සබඳතා ඇත්තෙක්ද, ආරක්ෂක අංශවලට සම්බන්ධ අයෙක්ද, ආර්ථික බලවතෙක්ද යන තත්වයන් ගැන නොතකා මේ සිද්ධීන්ට කෙලින්ම හෝ වක්‍රව හෝ සම්බන්ධ නම් ඒ තැනැත්තාගෙන් ප්‍රශ්නකර තොරතුරු ලබාගැනීම සිදුකළ යුතු වේ. කිසිවකු නීතියට උඩින් නොසිටියි. ප්‍රශ්න කළ යුතු අය රටේ ආරක්ෂක සේවාව තුළ අතීතයේදී ක්‍රියාත්මකව සිටියද වරදක් කර ඇත්නම් ඒ සඳහා ප්‍රශ්න කරණු ලැබීමට හෝ නීතිය ඉදිරියට ගෙන එනු ලැබීමට එය කිසිදු බාධාවක් නොවිය යුතුය.

එවැනි අය ඇත්තෙන්ම අන්‍යයන්ටත් වඩා සත්ගුණවත් යහපත් ජීවිත ගත කළ යුතුවේ. මේ නිසාම කිනම් පසුබිමකින් පැමිණියත් මෙම ප්‍රහාරයට සම්බන්ධ යමෙක් වේද ඒ තැනැත්තාගෙන් රැඳවුම් නියෝග යටතේ හෝ ප්‍රශ්න කිරීම කළයුතුය. එහි වරදක් නැත. ආරක්ෂක අංශවල සිටි අය හෝ රණවිරුවන් ලෙස සලකණු ලැබූ අය, ඝාතනයන් හෝ අපරාධයන්ට සම්බන්දවී ඇත්නම්, ඔවුනට ද නීතිය එකලෙස ක්‍රියාත්මක විය යුතුය. එය කිසිසේත්ම දේශ ද්‍රෝහි වීමක් ලෙස හුවා දැක්විය නොහැක. මෙයද විශේෂයෙන් ප්‍රහාරයෙන් අගතියට පත් අයගේ, අයිතිවාසිකමකි.

තමන්ගේ හිතවතුන් ආරක්ෂා කිරීම සඳහා “රණවිරු” ලේබලය තුළ ඔවුන් සැඟවීමට උත්සාහ කිරීම ඉතා නින්දිත ක්‍රියාමාර්ගයකි. 2024 ඔක්තෝබර් 6 වන දින අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීගමුව කටුවපිටිය දේවස්ථානයේ දී බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින් මුණ ගැසුනු මොහොතේ, ඔවුනට දුන් ප්‍රතිඥාව වූයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍යය “කාලයේ වැලිතලාවට යටවී යන්නට” තමන් ඉඩ නොදෙන බවයි. ඒ අනුව අප එතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පොරොන්දුව යථාර්තයක් කරමින් පාස්කු ප්‍රහාරය පිලිබඳව පරිපූර්ණ, විනිවිද පෙනෙනාකරයෙන් සත්‍ය මත පදනම්වූ පරීක්ෂණයක් සිදුකර, එහි සත්‍යතාවය අපට එලිදරව් කර දෙන ලෙසයි. ඒ සඳහා දැනටමත් ගෙන ඇති ක්‍රියා මාර්ග තවදුරටත් ඉදිරියටම ගෙනයනු ඇතැයි අපි විශ්වාස කරමු.

අපගේ යැදුම

මෙහිදී අප අදහන විශ්වාසය තුළ ශක්තිය සොයා යමු. යුක්තිය අයත් වන්නේ දෙවි සමිඳූන්ටයි. අහිංසක මිනිසුන්, ගැහැණුන් හා කුඩා දරුවන් විශාල පිරිසකගේ පොලොව තෙත් කළ රුධිරය, අහසට මොරදෙමින්  යුක්තිය ඉල්ලා සිටියි.

දෙවි සමිඳාණන් වහන්සේ සත්‍යවශයෙන්ම යම් දිනෙක, කෙසේ හෝ මේ යැදුමට සවන් දෙනු නියතය. යුක්තියද පසිඳාලනු නියතය. ඒ වනතුරු අපගේ අරගලය නොනැවතේ. මේ කරුණේදී අපට තම සහෝදරත්වයද සහයෝගයද දක්වන සියල්ලන්ට අපි ස්තූතිවන්ත වෙමු. ඔවුන් සියල්ලන්ට සමිඳාණන්ගේ ආසිරි පතමු. ස්තූතියි !

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අනාගතයට ගොඩවන්න… “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ ආබාධ සහිත ප්‍රජාවට ප්‍රමුඛ බස් රථ සේවාවක් ඇරඹේ!

Next Post

ලංකාව අසල ජාත්‍යාන්තර මුහුදේ දී  ඇමෙරිකානු භාරයට ගත් ඉන්දීය සබඳතා සහිත ‘ටිෆානි’ තෙල් නැවේ සම්පූර්ණ කතාව…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.