ඇතැම් පිළිකා රෝගීන්ට කීමෝ ප්‍රතිකාර ලබාදීමෙන් පසුව සුදු රුධිරානු මට්ටම අඩුවන බැවින්, එය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා ලබාදෙන Granulocyte Colony Stimulating Factor (GCSF) එන්නත්වල උග්‍ර හිඟයක් මතුව තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම බරපතල ඖෂධ හිඟය හේතුවෙන් පිළිකා රෝගීන්ට නියමිත පරිදි කීමෝ ප්‍රතිකාරය ලබාදීමට නොහැකි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු ලංකාසාර වෙත අදහස් දක්වමින් පැවසීය.
ඖෂධ හිඟය හේතුවෙන් බොහෝ රෝගීන්ට මේ වන විටත් මෙම එන්නත බාහිර ෆාමසිවලින් මිලදී ගැනීමට සිදුව ඇත. රෝගියෙකුට මෙම එන්නත දිනකට දෙවරක් බැගින් දින 5ක් හෝ ඊට වඩා වැඩි කාලයක් විදීමට සිදුවන බව වාර්තා වේ. වත්මන් වෙළෙඳපොළ මිල අනුව මෙවැනි එක් එන්නතක් රුපියල් 3000ක පමණ ඉහළ මිලක් ගන්නා අතර, උදේ සවස මෙය එන්නත් කරගත යුතු රෝගීන්ට මේ නිසා විශාල මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව ඇත.
රෝහල් වාට්ටුවක් වෙත රජයෙන් ලබාදෙන එන්නත් ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, රෝගීන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් බාහිරින් හෝ මෙම එන්නත මිලදී ගන්නා ලෙස නිර්දේශ කිරීමට වෛද්‍යවරුන්ට සිදුව තිබේ. කෙසේ නමුත්, මෙම අත්‍යවශ්‍ය එන්නත නොමැතිව පිළිකා රෝගීන්ට කීමෝතෙරපි ප්‍රතිකාරය ඉදිරියට කරගෙන යාමට නොහැකි වීම අතිශය බරපතල මෙන්ම අවදානම් සහගත තත්ත්වයක් බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කරයි.







