දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ඇමති අර්ජුන රණතුංගට හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංගට කොළඹ මහාධිකරණය හමුවේ අද (23) අධිචෝදනා භාර දුන්නේය.
ඉන් අනතුරුව විත්තිකරුවන් මිලියන 5 බැඟින් වූ ශරිර ඇප 2ක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.
අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මැයි මස 15 වනදා කැඳවන ලෙස නියෝග කළේය.
2017 – 2018 වර්ෂයේ මාස හයක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් මෙරටට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමට නියමිතව තිබූ දිගු කාලීන ටෙන්ඩර් 03ක් අවලංගු කර ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් 27ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලැස්වීම තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දුන්නේ යැයි කියන චෝදනාව විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.
2026 ජනවාරි 22 වන දින, කොළඹ මහාධිකරණයට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඔහුගේ සොහොයුරු ධම්මික රණතුංග යන අයට එරෙහිව චෝදනා ගොනු කර ඇති බව දූෂණ විමර්ශන කොමිෂන් සභාව (CIABOC) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
මෙම චෝදනා පදනම් වී ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාවට (CPC) රුපියල් මිලියන 800 ක පමණ මුදල් අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙනි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති අධිචෝදනා පත්‍රයට අනුව, මෙම වංචාව සිදුව ඇත්තේ 2017 සහ 2018 වර්ෂවල මාස හයක කාලසීමාව තුළය. එකල ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අර්ජුන රණතුංග සහ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ධම්මික රණතුංග, මෙරටට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා පැවති විනිවිදභාවයකින් යුත් දිගුකාලීන ටෙන්ඩර් තුනක් (03) හිතාමතාම අවලංගු කර ඇති බවට චෝදනා එල්ල විය.
එම දිගුකාලීන ටෙන්ඩර් වෙනුවට අතිවිශාල මිල ගණන් යටතේ හදිසි මිලදී ගැනීම් හෙවත් ‘ස්ථානීය ටෙන්ඩර්’ (Spot Tenders) 27ක් ක්‍රියාත්මක කරවීම හරහා රජයට අයත් ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න මූල්‍ය අලාභයක් සිදුකර ඇති බව විමර්ශනවලදී තහවුරු වූයේය.
අධිකරණ ක්‍රියාවලිය සහ ඇප නියෝගය
මෙම මූල්‍ය අලාභය සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින විත්තිකරුවන් දෙදෙනාට කොළඹ මහාධිකරණය හමුවේ අද (23) අධිචෝදනා භාර දෙන ලදී. ඉන් අනතුරුව විත්තිකරුවන් එක් අයෙකුට රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.
මෙහිදී අධිකරණය නියම කළ තවත් විශේෂ කොන්දේසියක් වන්නේ විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීම සහ ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමයි. අර්ජුන රණතුංග මීට පෙර විදේශගතව සිටි අතර, ඔහු දිවයිනට පැමිණීමෙන් පසු මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිට ඇත.
මීළඟ පියවර සහ පූර්ව නඩු විභාගය
නඩුවට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීන්දු කරමින්, කොළඹ මහාධිකරණය මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය (Pre-trial Conference) ලබන මැයි මස 15 වනදා පැවැත්වීමට නියෝග කර ඇත. එහිදී පැමිණිල්ල ඉදිරිපත් කරන සාක්ෂි සහ ලේඛන සලකා බලා නඩු විභාගය ඉදිරියට ගෙනයන ආකාරය තීරණය කරනු ඇත. ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මීට පෙර 2024 වසරේ දෙසැම්බර් මාසයේදී අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර සිටි අයෙකි.
ඒ අදූෂිත මිනිසා කොයිද?. ඉන්දියානු මාධ්‍ය එදා ඇසූ කතාව
ශ්‍රී ලංකාවේ 1996 ලෝක කුසලාන ජයග්‍රාහී නායකයා අර්ජුනය. අර්ජුනට මෙම චෝදනාව එල්ලවන අවස්ථාවේ ක්‍රිකට් ලෝලී රටවල් ද තිගැස්සුනේය. මේ ප්‍රවෘත්තිය අන්තර්ජාතිකව කථිකාවට ලක් වුන ප්‍රවෘත්තියක් විය.
මේ සිද්දිය සම්බන්ධව පසුගිය වසරේ මැයි මස 16 වැනිදා එක්ස්ප්‍රස් නිවුස් මෙම පූර්ණ වාර්තාවක් සකස් කර තිබුණේ මෙම නඩුව මින් පෙර කැඳවූ අවස්ථාවේ දී ය. එහිදී ධම්මික රණතුංග අත් අඩංගුවට පත් වුනේය. අර්ජුන හිටියේ විදේශගතවය.
ලෝකය අර්ජුන රණතුංග හඳුනාගෙන තිබුණේ අදූෂිත මෙන්ම ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙක් ලෙසය. දේශපාලනයට පිවිසුන ඒ පුද්ගලයා දූෂිත හොරෙක් ලෙස හංවඩු ගැසෙන ආකාරය එක්ස්ප්‍රස් නිව්ස් ද දුටුවේ කම්පනයෙනි.
2010 වසරේදී ඔහු වරක් සඳහන් කර තිබුණේ වාණිජ වෙළඳ දැන්වීම් සඳහා පෙනී සිටීමෙන් තම මව තමන්ව වළක්වා ගත් ආකාරය පිළිබඳවයි. එකල ඔහු වෙළඳ දැන්වීම් තුනකට පමණක් දායක වී තිබූ අතර, ඒවාද මහ රෝහලකට අරමුදල් රැස් කිරීමට, පෝලියෝ මර්දන ව්‍යාපාරයකට සහ කසළ බැහැර කිරීමේ වැඩසටහනකට පමණක් සීමා විය. ඒ සියල්ල ඔහු සිදු කර තිබුණේ නොමිලේය.
අර්ජුනගේ දූෂිත චෝදනා සම්බන්ධ සටහන ඔවුන් අර්ජුන කී කතාවකින් මෙසේ නිමා කර තිබිණි.
“මගේ පළමු ටෙස්ට් තරඟය වෙනුවෙන් මට ලැබුණේ රුපියල් 250ක් පමණයි. මම තරඟයට ගියේ කෝච්චියෙන්. ඉන්පසුව ලිප්ටන් තේ සමාගම පැමිණ වෙළඳ දැන්වීමකට පෙනී සිටීම වෙනුවෙන් මට රුපියල් 250,000ක මුදලක් පිරිනැමීමට සූදානම් බව පැවසුවා. මම ඔවුන්ට කිව්වේ මගේ මව මුණගැසෙන ලෙසයි. එහිදී ඇය ඔවුන්ට පැවසුවේ ‘මගේ පුතා විකිණීමට නැහැ’ යනුවෙනි. එදා රාත්‍රියේ මම ඇඳේ වැතිර සිටියදී ඇය මා අසලින් වාඩි වී ඇය ගත් එම තීරණය ගැන පැහැදිලි කළා. ඇය එදා පැවසූ දේ මට අදටත් මතකයි: ‘පුතේ, මතක තබා







