නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කරමින් සිටිය දී ගැඹුරු මුහුදේ ආපදාවට ලක්වුණු මෙරටට අයත් යාත්‍රාවක මරණය සමග පොරබදමින් සිටි පුද්ගලයින් 55 ක් නාවික හමුදාව විසින් බේරාගෙන අද (12) හම්බන්තොට වරාය වෙත නිරුපද්‍රිතව රැගෙන පැමිණි තිබේ.
මෙම සංක්රමනික පිරිස අතර දරුවන් 06 ක් සහ කාන්තාවන් 03ක් සිටි ඇත. කුඩාම දරුවාගේ වයස අවුරුදු 03කි.
හම්බන්තොට සිට කිලෝමීටර් 722 ක් පමණ, එනම් නාවික සැතපුම් 360ක් පමණ දුරින් ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේදී සුළි කුණාටුවකට හසුවී මෙම බහුදින ධීවර යාත්‍රාව ආපදාවට පත් වී තිබේ.

මීට දෙදිනකට පෙර, එනම් 2022 ජූලි මස 10 වන දින මෙම පිරිස මුදවාගෙන අද ( 12) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන පැමිණි බව නාවික හමුදාව නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේදී ආපදාවට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පාවෙමින් තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය සහන සලසන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් 2022 ජූලි මස 08 වන දින නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදුකර තිබිණි. එම දැනුම්දීමට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව ආපදාවට පත් ධීවර යාත්‍රාව තිබූ මුහුදු ප්‍රදේශය වෙත සෙවීම් සහ මුදවාගැනීමේ මෙහෙයුමක් සඳහා පිටත් කර යවා තිබේ.

ඒ අනුව, 2022 ජූලි මස 10 වන දින උදෑසන පරාක්‍රමබාහු නෞකාව ආපදාවට පත් ධීවර යාත්‍රාව වෙත ලඟා වී එම බහුදින ධීවර යාත්‍රාව පරීක්ෂාවට ලක් කර තිබේ . එහිදී 55ක් වූ පිරිසක් සමග එම ගැඹුරු මුහුදු ප්‍රදේශයේ පැවති අධික රළු ස්වභාවය හමුවේ ඉතා අවදානම් ලෙස බෝට්ටුව පාවෙමින් තිබී ඇත.
සිදුකල වැඩිදුර පරික්ෂාවේදී මුහුදේ පැවති අධික රළු ස්වභාවය හමුවේ යාත්‍රාවේ බඳට සිදුවූ අලාභහානි හේතුවෙන් මුහුදු ජලය යාත්‍රාව තුළට කාන්දුවී යාත්‍රාව ගිලීයාමේ අවදානමට ලක්ව තිබූ බවත් නිරීක්ෂණය වූ බව නාවික හමුදාව කියයි.
එමෙන්ම, දින කිහිපයක් ගැඹුරු මුහුදේ අතරමංව ආහාර සහ ජලය හිඟවීමෙන් එහි සිටි පුද්ගලයන් කිහිපදෙනෙක් නාවික හමුදාව විසින් මුදවා ගන්නා අවස්ථාව වන විට අසාධ්‍ය තත්වයෙන් පසුවූ බවත් මුදවා ගැනීමේ අංශ නිවේදනය කරයි.

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වෙත පරාක්‍රමබාහු නෞකාව තුළදී අවශ්‍ය ප්‍රථමාධාර හා අනෙකුත් පහසුකම් ලබාදෙමින් හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.
ආපදාවට ලක්වූ බහුදින ධීවර යාත්‍රාව තුළට අධික ලෙස මුහුදු ජලය කාන්දු වීම හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව අතහැර දැමීමට කටයුතු කර ඇත.
නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 03 ත් 54 ත් අතර වයසේ පසුවන මෙම පිරිස ත්‍රීකුණාමලය, මන්නාරම, වව්නියාව, කිලිනොචිචිය, මුලතිව්, යාපනය සහ කල්පිටිය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබේ.
එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බන්තොට වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.









