වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ
නීති වෛද්‍ය නිලධාරී, ජාතික රෝහල මහනුවර –
-
සමාජ මාධ්‍ය හරහා ගැහැණු ළමුන් අපයෝජනය කිරීම් වැඩිවීමක්. ගුරුවරුන් සමාජ ජාල වෙබ් අඩවි මගින් පාසල් වැඩ පැවරුම් ගෙදර වැඩ දරුවන්ට යොමු කිරීම වහාම නැවැත්විය යුතුයි.
-
දරුවා ගැන මොනතරම් විශ්වාස කළත් ඔහු හෝ ඇය සමාජ මාධ්‍ය සැරිසන ආකාරය ගැන සැලකිළිමත් වෙන්න… එය දරුවන් ආක්ෂා කිරීම සඳහා බැඳී සිටින සෑම අම්මා කෙනෙකුගේ, තාත්තා කෙනෙකුගේ වගකීමක්…
සමාජ ජාල වෙබ් අඩවි මගින් ගොඩනගා ගන්නා සබඳතා ඔස්සේ බාල වයස්කාර පාසල් දැරියන් අපයෝජනය වීමේ සිදුවීම් මේ වන විට වැඩි වැඩියෙන් වාර්තා වෙනවා.
විශේෂයෙන්ම වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලය භාවිතා කරමින් නිර්මාණය කරගන්නා විවිධ කණ්ඩායම් තුළ මේ අන්දමේ නොයෙකුත් අපචාරයන් සිදුවන බව දක්නට ලැබෙනවා. මෙම ගෲප් වල ඉන්න අය බොහෝ විට පුද්ගලයන් විදිහට එකිනෙකා දන්නා හඳුනන අය නොවෙයි. විවිධ වයස්වල පුද්ගලයන් එහි සාමාජිකයන් ලෙස ඉන්නවා. නව යොවුන් වියේ දරුවන් මේ තුළ ඉතා අනාරක්ෂිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර වාර්තා වූ එවැනි සිද්ධියකදී පාසල් යන පාසල් වැඩ හොඳින් කරන මහනුවර ප්‍රසිද්ධ විද්‍යාලයක රූමත් තරුණ දියණියක් වයස 19 ක පුද්ගලයෙකු සමග පැන ගියා. පසුව එම ගැහැණු ළමයා පසුදා තම දෙමාපියන්ට තමා ඉන්න තැන දැන්වූ පසු දෙමාපියන් ගොස් ඇයව රැගෙන පැමිණියා. මා ඇගෙන් විස්තර විමසීමේදී ඇය පවසා සිටියේ ගෙදර අම්මා නිතර පාඩම් කරන්න කියලා බනින නිසා මේ පුද්ගලයා සමග පැනගිය බවයි. ඒ පුද්ගලයා තමාට හමු වූයේ whatsapp group එකක් මගින් බවත්, වසර දෙකක පමණ කාලයක් ඔහු හඳුනාගෙන ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.
මෙම වට්ස්ඇප් ගෘප් එක ගැන මම තවදුරටත් විස්තර විමසූ විට ඇය කියා සිටියේ තමන්ව එම ගෘෘප් එකට එකතු කළේ තම පන්තියේම මිතුරියක් බවයි. එම ගෲප් තුළ ගොඩක් දෙනා ඉන්න බවත් තමන් පෞද්ගලිකව එම පුද්ගලයන් අඳුරන්නේ නැති බවත් ඇය කිව්වා. මේ කියන පුද්ගලයාගේ “status” බලලා තමන් විසින් මුලින්ම ඔහුට “මැසේජ්” කළ බවත් පසුව මාස හයක් පමණ “චැට්” කිරීමෙන් අනතුරුව ඔහු සමග ප්‍රේම සබඳතාවක් ආරම්භ කළ බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියා.
මුලින්ම ඔහුගේ නිවැරදි තොරතුරු ලබාදීමට ඔහු අදි මදි කළ බවත් නමුත් පසුව ප්‍රේම සබඳතාව ඇරඹූ පසුව ඔහුගේ නිරවැරදි තොරතුරු ලබා ගැනීමට හැකි වූ බවත් ඇය කියා සිටියා.
ඉන් අනතුරුව කිහිප දිනක් මහනුවර නගරයේදී ඔවුන් හමුවී ඇති අතර පසුගිය සතියේ, එම දැරියගේ මව ,ඇය පාඩම් නොකරන නිසා ඇයට බැණ වැදුන බැවින් ඇය තමාගේ ප්‍රේමවන්තයා සමග පැනයාමට තීරණය කොට ඔහු සමග පැන ගොස් පසුව එදින රාත්‍රී පිරිමි පුද්ගලයාගේ ආච්චි පමණක් සිටි නිවසේදී ලිංගික සබඳතා පවත්වා තියනවා.
දැරියගේ වයස අවුරුදු 16 ට අඩු නිසා ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සබඳතා පැවැත්වීම දණ්ඩ නීති සංග්‍රහයේ 364 (ඉ) වගන්තිය යටතේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂණයක් වන බැවින් චූදිතයාට ඉදිරියේදී මහාධිකරණය මගින් දඬුවම් නියම කරනු ඇති. ඒ සඳහා අවම අනිවාර්ය වසර දහයේ සිට විස්ස දක්වා සිර දඬුවම් සහ දඩයක් දඬුවම් ලෙස දණ්ඩන නීති සංග්‍රහයේ දක්වා තියනවා.
මෙහිදී මෙම සමාජ ජාල වෙබ් අඩවි අපේ සමාජයේ දරුවන්ට සිදු කරන බලපෑම පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුයි. පාසල් වියේ ගැහැණු දරුවන් විශාල ප්‍රමාණයක් මේ අන්දමින් අපයෝජනයන්ට ගොදුරුවීම වී ඇති අතර එය මේ මොහොතේත් අනාගතයේත් සිදුවනු ඇති.
මම මෙම දැරියගේ පියා සමඟ සාකච්ඡා කිරීමේදී මම ඔහුගෙන් විමසා සිටියේ ඔබ ජංගම දුරකථනය මෙම දැරියට ලබා දුන්නේ ඇයිද යන්නයි. එවිට ඔහු කියා සිටියේ පාසලේ දිනපතා ගෙදර වැඩ එවන්නේ whatsapp එකට නිසා ඔහුට ජංගම දුරකථනය දැරියට භාවිතා කිරීමට දීමට සිදුවන බවයි. තමන් සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධව තාක්ෂණික කරුණු හෝ විස්තරාත්මක කරුණු නොදන්නා බැවින් එය අවභාවිතා කළ හැකි බව තමා නොදැන සිටි බවත් ඔහු කීවා.
තමාගේ දියණිය ඉතාම කීකරු බවත් ඒ නිසා සැක කිරීමට කිසිවක් නොතිබූ බවත් ගෙදර කිසිදු ගැටලුවක් නොතිබූ බවත්, ඇගේ මෙම ප්‍රේම සබඳතාව පිළිබඳව කිසිවක් තමන් නොදන්නා බවත් තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියා.
ප්‍රේම සබඳතා පමණක් නොව ප්‍රේම සම්බන්ධතා නොමැතිව හුදු ලිංගික සබඳතා පමණක් පැවැත්වීමටත්, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සඳහාම වන මෙවන් groups විශාල ප්‍රමාණයක් whatsapp ජාලය තුළ තියනවා. මේවාට පාසල් දරු දැරියන් එකතු කර ගැනීම විවිධාකාරයෙන් සිදු කරනු ලබනවා. සමහර විට එම කණ්ඩායම්වල අධ්‍යාපන වැඩකටයුත්තක් ලෙස පෙනී යාම සඳහා පාසලේ නම භාවිතා කරන්නත් පුළුවන්. එවිට අහු වුනත් දෙමාපියන් සිතන්නේ එය පාසලේ අධ්‍යාපන කටයුත්තකට අදාල දෙයක් බවයි.
චැට් පණිවිඩ නිශ්චිත කාලයකට පසු ඉබේ මැකී යාමට “පෙර සැකසුම් “සකස් කළ හැකි නිසා මෙන්ම “chat” අගුළු දැමීමට හැකි වීම නිසාත්, ගෘප් සඟවා තබා ගැනීමට හැකි නිසාත් බොහෝ දෙමාපියන්ට වඩා පරිගණක සහ ජංගම දුරකථන පිළිබඳ සාක්ෂරතාවය වැඩි ළමයින් දෙමාපියන්ට ගුරුවරුන්ට හොරෙන් මෙම කණ්ඩායම්වල සාමාජිකයන් බවට පත්ව ඇති බව පෙනී යනවා.
කොවිඩ් වසංගත කාලයේ ජංගම දුරකථන භාවිතාවෙන් පාසල් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ගුරුවරුන් විසින් කටයුතු කරනු ලැබුවා. නමුත් එයද අහිතකර ප්‍රතිඵල රාශියක් ගෙන දෙන්නක් වුනා. දරුවන්ගේ ඇස් පෙනීම අඩාල වීම, බෙල්ලේ කැක්කුම, හිසරදය, මානසික ව්‍යාකූල භාවය, කලබලකාරී ගතිය ,බෝනොවන රෝග ඇතිවීම සහ ජංගම දුරකථන භාවිතයට ඇබ්බෙහිවීම වැනි අහිතකර ප්‍රතිඵල තිබියදී, ජංගම දුරකථන නොමැති සහ ඒ සඳහා දුරකථන සංඥා නොමැති ප්‍රදේශවල දරුවන්ට පවා ,ඒ ගැන නොසිතමින් ගුරුවරුන් සිතුමතේ අන්තර්ජාලය උපයෝගී කරගනිමින් දරුවන්ට උගන්වන්න කටයුතු කළා.
ජංගම දුරකථන නොමැති දරුවන් මෙන්ම එකම නිවසේ පාසල් දරුවන් දෙතුන් දෙනෙක් ඉන්න විට එකම ජංගම දුරකථනයට තරගකාරී තත්ත්වයක් ඇතිවීම තුළ පවුල ඇතුළත ගැටුම් පවා ඇතිව තිබුණා. අධ්‍යාපනයේ අයිතිය සැමට සමව තිබීම මූලික අයිතියක්ව තිබියදී ,මේ අවධියේ ස්මර්ට් ජංගම දුරකථන සහ අන්තර්ජාල සබඳතා තිබූ දරුවන්ට පමණක් අධ්‍යාපනය ලබාදීම මගින්; ඇත්තෙන්ම දරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්ද වුණා
කෙසේ වෙතත් වර්තමානයේදී එවන් වසංගත තත්ත්වයක් නොමැති නිසා අධ්‍යාපන කටයුතු සඳහා සමාජ මාධ්‍ය ජාල භාවිතය කිසිසේත්ම අනුමත කළ හැක්කක් නොවෙයි. මෙමඟින් බව යොවුන් වියේ දරුවන්, විශේෂයෙන්ම ගැහැණු දරුවන් තමන්ගේ ලිංගික හෝමෝන ක්‍රියාත්මක ආරම්භ වෙන කාලයේ ඇතිවන කායික සහ මානසික වෙනස්වීම් සහ උත්තේජනයන්ට ගොදුරු වීම සඳහා ප්‍රබල අවකාශයක් සලසනවා
ගුරුවරයාට පන්තියේ පාසල් ළමයින්ට ගෙදර වැඩ ලබාදීමට අවශ්‍ය නම් එය කළ යුත්තේ පාසල් කාලය තුළ මිස ගෙදර ගියාට පසු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ නොවන බව අවධාරණය කළ යුතු වනවා.. එසේ නොවීම තුළ මෙමගින් ගැටලු රාශියක් ඇති කරනු ලබනවා.
දෙමාපියන් වැඩ ඉවර කරලා ගෙදර එනකොට රෑ හතයි අටයි.., පහුවෙනිදාට පාසලට අරගෙන යන්න ඕනෑ දේවල් ගුරුවරයා මේ ගෲප් වලට යොමු කළාම මේ මහ රෑ දෙමාපියන් කොහොමද ඒවා හොයන්නේ ? . එපමණක්ද නොවේ වර්තමානයේ පාසල් දරුවන්ට නිවසේ මුද්‍රණ යන්ත්‍රයක් (Printer ) තබා ගැනීමට අවශ්‍ය වන තරමටම මුද්‍රිත පිටපත් (print outs) ලබා ගන්නා ලෙස ගුරුවරුන් නියෝග කරන අයුරු දක්නට ලැබෙනවා. මේක කිසිසේත්ම අනුමත කළ හැකි දෙයක් නෙවෙයි.
පාසලේ සමහර විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා දරුවන් පාසල් වෙලාවෙන් පසුව පාසලේ රඳවා ගන්නා බව කල්වේලා ඇතිව පූර්ව දැනුම් දීමකින් තොරව එකවරම සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ දැනුම් දී දරුවන් රඳවා ගැනීම මගින් දරුවන්ගේ ප්‍රවාහනය සහ ආරක්ෂාව සම්බන්ධව දෙමාපියන් බලවත් අපහසුතාවයකට ලක්වෙනවා.
ළමයින් ජීවත්වන්නේ දවස පුරාම පාසැල් වැඩ ඉගෙන ගැනීමට පමණක් නොවන බව ගුරුවරුන් මතක තියාගත යුතු වෙනවා දවස පුරාම පාසල් තියන්නේ නැතුව දහවල් එකහමාර වන විට පාසල් අවසන් කරන්නේ දරුවාගේ මනසට දරාගත හැකි අධ්‍යාපන කාලය එපමණක් වන නිසයි.
අධ්‍යාපන අමාත්‍යාංශය විෂය නිර්දේශය සකස් කොට ඇත්තේ පාසල තුළ එය උගන්වා අවසන් කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබාදෙමිනුයි. එම කාලය තුළ නියමිත පරිදි උගන්වා අවසන් කිරීමට නොහැකි නම් එය ගුරුවරයාගේ දුර්වලතාවයක්.
උදාහරණයක් ලෙස පන්තියේ සතියක් උගන්වන දේ ටියුෂන් පන්තියේ පැය දෙකකින් උගන්වනු ලබනවා. එසේ නම් පාසලේදී එසේ කළ නොහැකි වීමට කිසිදු හේතුවක් නැහැ.
ගුරුවරුන්ට සමාජ වෙබ් අඩවි ජාලා ඔස්සේ ගෲප් හදාගනිමින් සිය පන්තිවල ළමයින්ට, තමන්ට මතක් වෙන මතක් වෙන වෙලාවට විවිධ උපදෙස් දෙන්න අයිතියක් නැහැ. හැමෝටම ජංගම දුරකථන නොමැති නිසා එසේ කිරීම සඳහා ගුරුවරුන්ට සදාචාරාත්මක හෝ නෛතික හැකියාවක් නැහැ. එය ඇත්ත වශයෙන්ම ළමයින්ගේ මූලික අයිතිවාසිකම් ද උල්ලංඝනය වීමක්. අනාරක්ෂිත වීමක්.
මේ නිසා මේ පිළිබඳව වහාම අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු වනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිදු අනුමත කිරීමකින් තොරව ගුරුවරුන් අත්තනෝමතිකව දරුවන් සමාජ ජාල වෙබ් අඩවි වෙත නිරාවරණය කිරීම නැවැත්වීමට වහාම චක්‍රලේඛනයක් නිකුත් කළ යුතු වනවා.
ඒ වගේම දෙමාපියන් වහාම සිය දරුවන් භාවිතා කරන ජංගම දුරකථන රැගෙන එහි ඇති සියලුම සමාජ ජාල වෙබ් අඩවි පරීක්ෂා කොට,එහි ඇති කණ්ඩායම් පිළිබඳව සොයා බැලිය යුතු වනවා. සමහරවිට දරුවන් විසින් ඒවා සඟවා හෝ අගුළුලා තිබීමට හැකියාව තියෙනවා ඒ නිසා තමන් තාක්ෂණය පිළිබඳව වැඩිදුර නොදන්නේ නම් ඒ පිළිබඳව නිපුණතාවක් ඇති විශ්වාසදායී පුද්ගලයෙකු වෙතින් ඒ පිළිබඳව පරීක්ෂා කරගන්න පුලුවන්.
සියලුම දරුවන් තමන්ට කොතෙක් විශ්වාස වුවත්, තමන් කොතරම් ආදරය වුවත් ඔවුන් දුරකථනයේ සමාජ ජාල වෙබ් අඩවි තුළ සැරිසරන ආකාරය අනිවාර්යයෙන්ම නිරීක්ෂණය කරන්න අවශ්‍යයයි.
සමහර පාසල් වලින් මා හට දේශන වලට ආරාධනා කරනවා විශේෂයෙන්ම හත අට වසර සිට ගැහැණු දරුවන් වැඩිහිටි පිරිමි විශේෂයෙන්ම කොණ්ඩෙ පාට කරලා කරාබු දාලා ඉන්න මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පුද්ගලයන් සමග සබඳතා පවත්වන බවත් ඒ පුද්ගලයින් වෙනුවෙන් එකිනෙකා සමග සණ්ඩු කරගන්නා බවත් ඒ නිසා එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා උපකාර කරන ලෙසත් ඉල්ලා සිටිනවා.
මේ නිසා දෙමාපියන් හැමෝටම තම දරුවන් කොච්චර උස්මහත් වුණත් ඒ අය තවමත් කුඩා දරුවන් ලෙස පෙනෙන්න පුළුවන්.තමන්ට කවදාවත් බොරුවක් නොකරන අවංක දරුවන් බවට විශ්වාස කරන්න පුළුවන්. නමුත් අත්දැකීම් වලින් අපට පෙනී යන්නේ එය එසේ නොවන බවයි. මක්නිසාද යත් දරුවන් එය සිතා සිතා කරන බොරුවක් නොව සිය සිරුරේ අලුතින් ක්‍රියාත්මක වන හෝමෝන නිසා මෙහෙයවන තත්වයක් බව දෙමාපියන් තේරුම් ගත යුතු වනවා.
එම නිසා තමාගේ දරුවන් කෙරෙහි සෑම විටම අවධානයෙන් සිටීම අත්‍යවශ්‍යම කරුණක්.
අපගේ සමාජය තවමත් ජංගම දුරකථන ආරක්ෂිතව දරුවන්ට පරිහරණයට ලබාදීමට තරම් පරිණත වූ සමාජයක් නොවන නිසා සෑම විටම සිය දරුවන් ජංගම දුරකථන වලින් ඈත් කොට තබා ගැනීමට කටයුතු කළ යුතු බව අවධාරණය කරනවා







