ශ්‍රී ලංකාවේ දේශපාලනයේ පවතින දූෂිත ස්වභාවය තමන්ට නොවැදගත් සුලු සිද්ධීන්ගෙන් පවා නිරූපණය වන්නේ යැයි බ්‍රිතාන්‍යයේ ගෝලීය දේශපාලනය පිළිබඳ මහාචාර්යවරයෙකු වන බ්‍රයන් ක්ලාස් පවසයි.
පසුගිය 13 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළායාමෙන් පසු, සිය ට්විටර් සමාජ ජාලය වෙත සිය අත්දැකීම් එකතු කළ මෙම මහාචාර්යවරයා තමන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු පුත්‍රයෙකු හමුවීම විස්තර කර ඇත්තේ මෙසේය.
“මීට වසර කීපයකට කලින් ලංකාවේ හිටපු ජනාධිපතිගේ පුතාට මාව හමුවෙන්න අවශ්‍යයි කිව්වා. මම එක දවසක් ඔහුට වේලාවක් ලබා දී උදෑසන ආහාරයත් සමඟ හමුවීම සඳහා අපේ විශ්ව විද්‍යාලය ආසන්නයේ පිහිටි සුඛෝපභෝගී පන්නයේ අවන්හලක මේසයක් වෙන් කළා. එහි ආහාර මිල ඉතා අධික නිසා මම නිවසින් ධාන්‍ය වර්ගයක් ආහාරයට ගෙනයි එහි ගියේ.
ලංකාවේ ජනාධිපතිගේ පුතා නියමිත වේලාවට පැමිණියා. අප දෙදෙනා සෑහෙන වේලාවක් කතා කළා. ඔහු මගෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකාරීවාදය පිළිබඳව විවිධ දේවල් ඇහුවා. ඔහුගේ මේ ප්‍රශ්න පිළිබඳව මට යම් කුතුහලයකුත් ඇතිවුණා.“
“අපි දෙන්නාම එක් කෙටි ආහාර වර්ගයක් සහ කෝපි එක බැගින් ගත්තා. පැයකට පමණ පසු බිල ආවා. අපේ බිල පවුම් 100කට වඩා වැඩියි. ඒ කියන්නේ ඒ කාලේ හැටියට ඩොලර් 140ක්. අපි ගත් ආහාර වේල අනුව මෙච්චර ලොකු බිලක් එන්න විදියක් නෑ. මම ක්ෂණිකව දැනගත්තා මොකක් හරි වැරැද්දක් ඇති කියලා. නමුත්, මම මොකුත් කියන්නත් කලින්ම ජනාධිපතිගේ පුතා ඔහුගේ පසුම්බිය දිග ඇර පවුම් 120ක් වේටර්වරයාට දුන්නා. මම පුදුමයෙන් පුදුමයට පත් වුණා.“
“නමුත් මම ක්ෂණයෙන් වේටර්වරයා කැඳවා මෙතන වැරැද්දක් වෙලා තියෙන බව පෙන්නුවා. ආපහු බිල පරීක්ෂා කරන්න කියා කිව්වා. එතකොටයි තේරුණේ නිවැරදි බිල පවුම් 15ක් බව. අපි ඒ මුදල ගෙවා ඊට පසු එතැනින් පිටත් වුණා.. “
“මම මේ කියන ශ්‍රී ලංකාවේ ජනාධිපති පුත්‍රයා ලෝකේ වටේ ඇවිද අත්දැකීම් ඇති කෙනෙක්. ඒ වගේම කාලයක් එංගලන්තේ ජීවත් වුණු කෙනෙක්. ඔහු පවුමක වටිනාකම පිළිබඳවත් දැනගෙන හිටියා. නමුත් ඔහු කිසි සොයා බැලීමකින් තොරව මේ මුදල ගෙවීමට සූදානම් වීමෙන් වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් 3000ක් තරම් වන රටක පාලකයින් කොතරම් දූෂිත මට්ටමක සිටින්නේ ද යන්න පිළිබඳව ලෝකයට පෙන්වන පියස්සක් වැනි අවස්ථාවකටයි මම මුහුණ දුන්නේ…“
“මම ශ්‍රී ලංකාව පිළිබඳ අධ්‍යයනය කරන්නේ නෑ. මට ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් ලද එකම අත්දැකීම මේ ජනාධිපති පුත්‍රයා හමුවීමයි. නමුත්, විරෝධතාකරුවන් මට හමු වූ ජනාධිපති පුත්‍රයාගේ බාප්පා වන වර්තමාන ජනාධිපතිවරයාගේ මන්දිරයට කඩා වැදී එහි පිහිනුම් තටාකයේ පිහිනන විට ලංකාවේ තත්ත්වය පිළිබඳ මට සිතා ගැනීමට පවා නොහැකි වුණා. මට හමු වූ ජනාධිපති පුතා, දැන් ඊළඟ ජනාධිපතිවරයෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටියි…”
මහාචාර්ය ක්ලාස් තැබූ දීර්ඝ ට්විටර් සටහන…..
1. As Sri Lanka’s president flees and the country’s economy is in tatters, let me share a story—in which I had breakfast with the former president’s son—because it shows how little, seemingly insignificant details can reveal so much about elites in highly corrupt countries.
— Brian Klaas (@brianklaas) July 13, 2022