කපිල කේ හීනටියන –
මේ වනවිට ජෙෆ්රි එප්ස්ටීන් යනු ලොව පුරා සිත් බියකරවන නමකි. ඇමරිකානු මූල්‍යකරුවෙකු සහ බිලියනපතියෙකු ලෙස ඔහුගේ ජීවිතය ආරම්භ වුවත්, ඔහුගේ අඳුරු පැත්ත ලිංගික අපරාධ සහ ජාවාරම් සමඟ බැඳුණු එකකි. 2019දී ඔහු බන්ධනාගාරයේදී සියදිවි නසාගත්තේය. ඔහුගේ සිය දිවි නසා ගැනීම සිද්ධ වන්නේ බාලවයස්කාර ගැහැණු ළමුන් සමඟ ලිංගික ජාවාරම් සහ අපයෝජන චෝදනාවලට මුහුණ දෙමින් සිටියදීය.
ඔහුගේ හිටපු පෙම්වතිය වූ ගිස්ලේන් මැක්ස්වෙල්ය. ඇය වර්තමානයේ වසර 20ක බන්ධනාගාර දඬුවමක් විඳිමින් සිටින්නීය. ඇය සිරගත වී ඇත්තේ ජෙෆ්රි එප්ස්ටීන්ගේ අපරාධවලට සම්බන්ධ බවට චෝදනා ලැබීමෙන් පසුවය.
මේ වනවිට හෙළිදරවු වෙමින් ඇති ජෙෆ්රි එප්ස්ටීන් සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින්ගේ ජීවිත චරිත සම්බන්ධව ලෝකය මෙතෙක් ඇඳ තිබූ සිතුවම දුර්වර්ණ කරමින් ඇත්තේය. මේ හෙළි වෙමින් ඇත්තේ ලෝකයේ බලවත් පුද්ගලයින්ගේ රහස් ජාලයක් සහ බලයේ අඳුරු පැත්තක් ගුඪ භාවය පිළිබඳ යථාර්ථය ය.
ජෙෆ්රි එප්ස්ටීන් කවුද?

ජෙෆ්රි එඩ්වඩ් එප්ස්ටීන් (1953 ජනවාරි 20 – 2019 අගෝස්තු 10) යනු ඇමරිකානු මූල්‍යකරුවෙකි. ඔහු බ්‍රෝක්ලිහි උපත ලැබුවේය. එප්ස්ටීන්ට කවදාවත් උසස් විද්‍යාලයක උපාධියක් තිබුණේ නැත. එහෙත් ඔහු සිය ජීවිත ආරම්භ කරන්නේ ගණිත ගුරුවරයෙක් ලෙසය. අනතුරුව ගුරු වෘත්තියට සමු දුන් එප්ස්ටීන් Bear Stearns බැංකුවේ සේවයට එක් වී මූල්‍ය ක්ෂේත්‍රයට පිවිසුණේය..
ජෙෆ්රි එප්ස්ටීන් තමන්ගේම සමාගමක් බිහි කරගන්නේ 1980 දශකයේ දී ය. මූල්‍ය ක්ෂේත්‍රය තුළ චතුරව හැසරෙමින් එප්ස්ටීන් දශක දශක දෙකක් යනවිට බිලියනපතියෙක් බවට පත් වූයේය. ඔහු ව්‍යාපාර හරහා අසීමිත ධනයක් රැස්කරගත්තේය. මේ ව්‍යාපාරික සාර්ථකත්වයත් සමග ලෝකයේ ධනවත් සහ බලවත් පුද්ගලයින්, දේශපාලනඥයින් සහ රාජකීයයන් සමඟ සම්බන්ධතා ඇතිකරගනිමින් බලවත් සමාජ ජාලයක් ගොඩනගා ගැනීමට ජෙෆ්රි එප්ස්ටීන්ට හැකි වූයේය.
මේ අතර ඔහු සිය ධනය සහ බලය පාවිච්චි කරමින් කාම අපරාධ නිදහස් වූ භූමියක් නිර්මාණය කරගනු ලැබුවේය. ඒ එක්සත් ජනපදයේ වර්ජිනීයා දූපත්වල Little St. James දූපත මිලදී ගනිමිනි. මේ භූමිය කුඩා ගැහැණු දරුවන් ලිංගික වහල් සේවයේ යෙදවූ කාම අපරාධ භූමියක් විය. එම දූපතට ඔහු ලෝකයේ සිටින බලවත්ම පුද්ගලයින් රැගෙන විත් ඔවුන්ට බාලවයස්කාර දැරියන් සමග ලිංගිකව එකතුවීමේ අවකාශ නිර්මාණය කර දුන්නේය. මේ වනවිට එප්ස්ටීන් සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින්ගේ තොරතුරු සහිත ගොනුවලින් අනාවරණය වෙමින් ඇත්තේ මේ කාම අපරාධ ජාලයේ ස්වරූප බවටවන ඉඟි ලෝකයට දැනීමත් සමග මේ තොරතුරු ගොනු සම්බන්ධව දැඩි ලෝක අවධානයක් යොමු වී ඇත්තේය. ඇතැම් සිදුවීම් හුදු සමාන්‍ය සම්බන්ධතා බවට සහතික වුව ද සිද්ධියේ බරපතලකමත් සමග නිවැරදි පුද්ගලයින් ඉදිරියේ වදින සමාජ මුද්‍රාව ද යහපත් එකක් නොවේ.
බාලවයස්කාර ගැහැණු ළමුන් ට එරෙහි ලිංගික අපරාධ, අපයෝජන සහ ජාවාරම් චෝදනා ජෙෆ්රි එප්ස්ටීන්ට එල්ල වන්නේ වර්ෂ 2008දී ය. ෆ්ලොරිඩාවේදී ඔහු බාලවයස්කාර ගැහැණු ළමුන් සමඟ සබඳතා පැවැත්වීම සඳහා අධිකරණය ඉදිරියේ වරදකරු බවට පත් වූයේය. ඒ සඳහා ඔහු බරපතල නොවන දඬුවමක් ලැබීය.
නමුත් ඔහු වර්ෂ 2019දී නැවත අත්අඩංගුවට ගන්නා ලද්දේය. ඒ ලිංගික ජාවාරම් සම්බන්ධව ෆෙඩරල් අධිකරණයේ එල්ලවන චෝදනා සමගය. මෙම අත් අඩංගුවට ගැනීමත් සමගම ඔහුව රඳවනු ලැබුවේ නිවු යෝක් හි මෑන්හැට්න් ප්‍රදේශයේ මෙට්‍රොපොලිටන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ය.
මෙම මධ්‍යස්ථානයේ රඳවා සිටිය දි ජෙෆ්රි එප්ස්ටීන් 2019 අගෝස්තු මස 10 දින සිය දිවි නසා ගත්තේය. එප්ස්ටයින් මියගිය මෑන් හැට්න් මෙට්‍රොපොලිටන් පුනරුත්ථාපන මධ්‍යස්ථානය , බිඳ වැටෙන යටිතල පහසුකම් සහ ආරක්ෂක අසාර්ථකත්වයන් හේතුවෙන් 2021 දී ෆෙඩරල් රජය විසින් ස්ථිරවම වසා දමනු ලැබුවේය.
Little St. James දූපත… බලවතුන්ගේ කාම අපරාධ භූමිය..

එක්සත් ජනපද වර්ජින් දූපත්වල සෙන්ට් තෝමස් ප්‍රදේශය ආසන්නයේ පිහිටි Little St. James නම් මෙම මනරම් දූපත් භූමිය ජෙෆ්රි එප්ස්ටීන් විසින් මිලදී ගන්නේ 1998දී ය. එය ඔහුගේ අපරාධ ජාලයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වූයේය.
අධිකරණ ලේඛන, සහ වින්දිතයින්ගේ සාක්ෂි සහ පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ, ඔහු මෙම දූපතේදී අවුරුදු 14 – 17 අතර බාලවයස්කාර ගැහැණු ළමුන් ලිංගික අපයෝජනයට ලක් කළ බවය. එම අපයෝජන ශරීර සම්බාහන ලෙස ආරම්භ වී ලිංගික ක්‍රියාකාරකම් දක්වා විහිදී තිබිණි. මෙම ගැහැණු ළමුන්ට මුදල් ගෙවූ අතර එම ගෙවීම් මගින් ඔවුන් හරහා තවත් ලාබාල ගෑණු දරුවන් මෙම කාම අපරාධ භූමියට ගෙන්වා ගැනිමට එප්ස්ටීන් කටයුතු කළේය. මෙම අපරධයට එප්ස්ටීන්ට ප්‍රධාන ලෙසම උපකාර තිබුණේ ඔහුගේ පෙම්වතිය වූ ගිස්ලේන් මැක්ස්වෙල්ය. දූපතේ සුඛෝපභෝගී නිවාඩු නිකේතන තිබිණි. ගුවන් යානා සඳහා සකස්කළ ගුවන් තොටුපල තිබිණි. ධන කුවේම සල්ලාලයෝ ඉතාම පහසුවෙන් ස්වකීය අනන්‍යතාවයන් ආරක්ෂා කරගෙන මේ භූමියට පැමිණ නිදහසේ සිය අපරාධකාරී ආශාවල් මුදා හළහ.
ජෙෆ්රි එප්ස්ටීන්ගේ මරණයෙන් පසුවත්, ඔහු විසින් මෙහෙයවන ලද බිහිසුණු ලිංගික අපරාධ ජාලය පිළිබඳ තොරතුරු අධිකරණ ලේඛන සහ විමර්ශන හරහා අඛණ්ඩව අනාවරණය වෙමින් පවතී. ඇමරිකානු වර්ජින් අයිලන්ඩ්ස් රජය විසින් එප්ස්ටීන්ගේ දේපලට එරෙහිව ගොනු කළ නඩු සහ අනෙකුත් සිවිල් නඩු වලදී තහවුරු වූයේ Little St. James දූපත ඔහුගේ අපරාධ සඳහා වූ ප්‍රධාන මධ්‍යස්ථානය වූ බවයි.
එය ශිෂ්ඨ ලෝකය කිසසේත් බලාපොරොත්තු නොවුන අනාවරණයක් විය. බාලවයස්කාර ගැහැණු ළමයින් ජාවාරම් කිරීම, ඔවුන් ලිංගික වහල්භාවයේ තබා ගැනීම සහ ලිංගික අතවර සිදු කිරීම සඳහා මෙම දූපත “පරිපූර්ණ සැඟවුණු ස්ථානයක්” ලෙස ජෙෆ්රි එප්ස්ටීන් විසින් භාවිතා කර තිබිණි. එහි සිදු වූ අපයෝජනයන් හුදෙකලා සිදුවීම් නොව ඉතා සංවිධානාත්මකව සහ ක්‍රමානුකූලව සිදු වූ ඒවා බව අධිකරණය ඉදිරියේ දී සනාථ විය.
මේ මහා අපරාධය හෙළි වන්නේ කෙසේද?
එප්ස්ටීන්ගේ අපරාධ සමඟ සම්බන්ධ ලිපිගොනුවල මූලික හෙළිදරව්ව සිදුවූයේ 2024 ජනවාරි මාසයේදීය. මෙම ලිපිගොනු පදනම් වූයේ වින්දිතයෙක් වූ වර්ජිනියා ජියුෆ්‍රේ විසින් එප්ස්ටීන්ගේ සමීපතම සහකාරිය වූ ගිස්ලේන් මැක්ස්වෙල්ට එරෙහිව 2015 දී ගොනුකළ නඩුවකටය.
වර්ජිනියා ගියුෆ්‍රේ යනු යුක්තිය වෙනුවෙන් හඬ නැගූ නිර්භිත කාන්තාවකි. ජෙෆ්රි එප්ස්ටීන්ගේ ලිංගික ජාවාරම් ජාලයට එරෙහිව නැගී සිටි ප්‍රමුඛතම සාක්ෂි කාරිය ඇයය. ඇයගේ ජීවිත කතාව බලය සහ අපයෝජනයට එරෙහිව කරන ලද දීර්ඝ අරගලයක සලකුණකි.

1983 අගෝස්තු 9 වැනිදා කැලිෆෝනියාවේ උපත ලැබූ වර්ජීනියා කුඩා කල පටන්ම විවිධ අපයෝජනයන්ට ලක් වූ දැරියකි. ඇය එම පීඩා දරාගැනීමට නොහැකි වූ අවස්ථාවේ දී නිවසින් පලා ගියාය.
2000 වසරේදී, එනම් ඇයට වයස 16දී, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Mar-a-Lago රිසෝට්හි සේවය කරමින් සිටියදී ගිස්ලේන් මැක්ස්වෙල් විසින් ඇයව එප්ස්ටීන් වෙත හඳුන්වා දෙන ලදී.
අනතුරුව වසර ගණනාවක් පුරා එප්ස්ටීන්ගේ පෞද්ගලික දූපත් සහ ලොව පුරා විවිධ ස්ථානවලදී බලවත් පුද්ගලයින් සමඟ ලිංගික සබඳතාවලට ඇයව බලහත්කාරයෙන් යොදා ගැනුණි.
බ්‍රිතාන්‍යයේ ඇන්ඩෘ කුමරු තමා වයස අවුරුදු 17දී අපයෝජනය කළ බවට ඇය ප්‍රබල චෝදනාවක් එල්ල කළාය. 2022දී මෙම නඩුව අධිකරණයෙන් බැහැරව විශාල මුදලක් වන්දි ලෙස ගෙවීමේ එකඟතාව මත අවසන් විය. නමුත් 2026 පෙබරවාරි මස නිකුත් වූ “එප්ස්ටීන් ලිපිගොනු” මඟින්, ඔවුන් දෙදෙනා සිටින සුප්‍රසිද්ධ ඡායාරූපය සැබෑ එකක් බව තහවුරු විය. ඒ ගිස්ලේන් මැක්ස්වෙල්ගේ ඊමේල් පණිවිඩයකිනි. වර්ජීනියාගේ සාක්ෂි ගිස්ලේන් මැක්ස්වෙල් වැරදිකාරියක කිරීමටත්, එප්ස්ටීන්ගේ ජාලය හෙළිදරව් කිරීමටත් ප්‍රමුඛ කාර්යයක් ඉටු කළේය.
වර්ජීනියා අනතුරුව ‘SOAR’ නැමැති සංවිධානය පිහිටවූවාය. ඒ ලිංගික ජාවාරම්වලට ගොදුරු වූවන් වෙනුවෙන් පෙනී සිටීමටය. ඒ අතර ඇය Memoir නැමැති ස්වයං චරිතාපදානය ලියා ප්‍රකාශයට පත් කළාය. 2025 ඔක්තෝබර් මස ප්‍රකාශයට පත් වූ “Nobody’s Girl: A Memoir of Surviving Abuse and Fighting for Justice” කෘතිය හරහා වර්ජීනියා තමා මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් ලොවට හෙළි කළාය.
කෙසේ වෙතත් ඇය මේ මහා ඛේදවාචකයේම බිල්ලක් වි අවසන් ගමන් ගියාය. දශක ගණනාවක් පුරා විඳි මානසික කම්පනය (Trauma) දරාගත නොහැකිව ඇය 2025 අප්‍රේල් 25 වැනිදා ඕස්ට්‍රේලියාවේදී සියදිවි නසා ගත්තාය.
මේ කාන්තාව විසින් ආලෝකයක් දල්වා පෙන්වා දුන්නේ දීප්ත්මත්ව බබලන මහා ප්‍රභා සම්පන්න ලෝකයක සෙවනැලි තුළ සැඟවුන තුච්ඡ සහ අඳුරු ලෝකයක තිගස්වන සුලු යථාර්ථය ය.
එප්ස්ටීන්ගේ මරණයෙන් පසු ස්ථාපිත කරන ලද වින්දිතයන්ගේ වන්දි අරමුදල (Victims’ Compensation Fund) මගින් වින්දිතයන් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 120 කට අධික මුදලක් ගෙවා ඇත. මෙය ඔහුගේ අපරාධවල ව්‍යාප්තිය සහ බරපතලකම පිළිබිඹු කරන ප්‍රබල සාක්ෂියකි.
2023 වසරේදී JPMorgan Chase බැංකුව ද මෙම අපරාධ ජාලයට මූල්‍යමය පහසුකම් සැලසීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ අතර, එම නඩුව සමථයකට පත් කර ගැනීම සඳහා ඔවුන් ඩොලර් මිලියන 75 ක වන්දියක් ගෙවීමට එකඟ විය.
ගිස්ලේන් මැක්වෙල්ට හිමි වූ දඬුවම

ජෙෆ්රි එප්ස්ටීන්ගේ පෙම්වතිය වූ ගිස්ලේන් මැක්වෙල්ට වර්ජිනියා ජියුෆ්‍රේ ඇතුළු සාක්ෂිකරුවන් විසින් චෝදනා එල්ල කරමින් ප්‍රකාශ කළේ බාලවයස්කාර ගැහැණු ළමුන් ලිංගික අපයෝජන සඳහා බඳවා ගැනීම ජාවාරම් කිරීම සහ එප්ස්ටීන්ගේ අපරාධවලට සහාය වීම ඇය විසින් සිදුකළ බවය.
වර්ෂ 2015 දී ගිස්ලේන් මැක්ස්වෙල් ට එරෙහිව වර්ජිනියා විසින් ගොනු කළ නඩුවට අදාල දීර්ඝ නඩු විභාගයකන් පසු ඇයව 2020 ජූලි මාසයේදී නිව්යොර්ක් හිදී අත්අඩංගුවට ගත්තේය. ඒ 2019 වසරේදී එප්ස්ටීන් මිය යාමෙන් පසුවය
ඇයට එරෙහිව ෆෙඩරල් චෝදනා ගොනු වූයේ නිව්යෝර්ක්හි දකුණු දිස්ත්‍රික් ( Southern District of New York ) අධිකරණයේදීය. නඩුව 2021 නොවැම්බර්-දෙසැම්බර් මාසවලදී පැවැත්වුණු අතර, ප්‍රධාන සාක්ෂිකරුවන් ලෙස වර්ජිනියා ඇතුළු අනෙකුත් වින්දිතයින් සහ අනෙකුත් සාක්ෂිකරුවෝ ඉදිරිපත් වූහ.
ඇයට එල්ල වී තිබුණු චෝදනා 06න්, බාල වයස්කරුවන් ලිංගික සේවයේ යෙදවීම සඳහා ප්‍රවාහනය කිරීම, බාල වයස් කරුවන් නීති විරෝධීව ලිංගික අපරාධවලට ලක් කිරීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 05ක් සඳහා වරදකාරිය කරමින් 2021 දෙසැම්බර් 29 වැනිදා ජූරිය සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ගිස්ලේන් මැක්ස්වෙල් නිදහස් වූයේ එක් චෝදනාවකින් පමණි.
අනතුරුව 2022 ජූනි 28 වැනිදා විනිසුරු ඇලිසන් නේතන් විසින් ඇයට අවුරුදු 20ක බන්ධනාගාර දඬුවමක් නියම කරන ලදී. මේ වනවිට ඇය ඉන්නේ බන්ධනාගාරගතවය.
ලිපි ගොනු ප්‍රකාශයට පත් කිරීම
පසුව 2024 වසරේ මුලදී අධිකරණ නියෝග මත ජෙෆ්රි එප්ස්ටීන් සහ සම්බන්ධ මෙම අපරාධ ජාලයට සම්බන්ධ ලිපි ගොනු ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේය. නිව් යෝර්ක් අධිකරණයේ විනිසුරු ලොරෙටා ප්‍රෙස්කා විසින් මෙම ලිපිගොනු අනාවරණය කිරීමට නියෝග කළාය. ඒ බොහෝ තොරතුරු දැනටමත් පොදු දැනුම බවට පත්ව ඇති බැවින් සහ සමහර නම් රහසිගතව තබා ගැනීමට හේතු නොමැති බැවින්ය.
මෙම නඩුවේ තිබූ පිටු 900කට අධික ලිපිගොනුවලින් බොහෝමයක් ජනවාරි 1 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදීමෙන් පසුව අනාවරණය විය.
මේ අතර එප්ස්ටීන් ලිපිගොනු විනිවිදභාවය පිළිබඳ පනත (Epstein Files Transparency Act) නැමැති පනතක් 2025 නොවැම්බර් 18දා එක්සත් ජනපද කොංග්‍රසය මඟින් අනුමත කළේය. නොවැම්බර් 19දා ජනාධිපති ට්‍රම්ප් ඊට අත්සන් තැබීය. ඒ අනුව ප්‍රධාන හෙළිදරවුව 2026 ජනවාරි 30 දා සිදුකරන්නේ යුක්තිය පිළිබඳ අමාත්‍යාංශය විසිනි. එය පිටු මිලියන 3කට අධික දැවැන්ත ලිපි ගොනුවක් විය.
වීඩියෝ 2,000කට අධික සංඛ්‍යාවක්, ඡායාරූප 180,000ක් සහ විශාල ඊමේල් ප්‍රමාණයක් මෙයට ඇතුළත් වූයේය. එම ලේඛන මගින්, ලෝක ප්‍රකට දේශපාලනඥයන්, කලාකරුවන් සහ ප්‍රකෝටිපතියන් රැසකගේ නම් මෙම දූපතට සහ එප්ස්ටීන්ගේ ඇසුරට සම්බන්ධ බව තහවුරු විය. හිටපු ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්, ඇන්ඩෲ කුමරු, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊලොන් මස්ක්, හිටපු නිව්යෝර්ක් මෙක්සිකෝ ආණ්ඩුකාර බිල් රිචඩ්සන්, මයිකල් ජැක්සන්, .බිල් ගේට්ස් වැනි ලෝක බලවතුන් වැනි පුද්ගලයෝ මේ අතර වෙති.
සැලකිය යුතු වන්නේ මෙම ලිපිගොනුවලට ආදල බොහෝ චෝදනා සත්‍යාපනය කර නොමැති බව නීති අංශ අවධාරණය කර තිබීමය.
කෙසේ වෙතත් ජෙෆ්රි එප්ස්ටීන්ගේ නිශ්චිත අපරාධ ෆෙඩරල් පරීක්ෂණ (Federal Investigations), මහා ජූරි සාක්ෂි (Grand Jury Testimonies) සහ නිල අධිකරණ ලේඛන මගින් සත්‍යාපනය වූයේය. බලය සහ ධනය යොදාගනිමින් මෙවැනි අපරාධ වසන් කිරීමට ගත් උත්සාහයන් අභිබවා නීතිය ක්‍රියාත්මක වීම මෙහි ඇති වැදගත්ම ලක්ෂණය ය.







