බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

බුදුගල පාෂාණ සීරුම් සිතුවම්  කතරගම දෙවියන් සහ වල්ලි අම්මා ගේ ද?

by editor
ජනවාරි 6, 2021
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

කේ.උදේනි අරුණසිරි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, රත්නපුර –

රත්නපුර දිස්ත්‍රික්කයේ බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුදුගල ග්‍රාම නිලධාරී වසමේ  බුදුගල ආරණ්‍ය සංකීර්ණය පිහිටා තිබේ. බළන්ගොඩ නගරයේ සිට දකුණු දෙසට දිවෙන කල්තොට මාර්ගයේ කි.මී. 32ක් ගිය විට හමු වන කල්තොට උපනගරයේ සිට වැලිපතයාය-කපුගල දක්වා ඇති මාර්ගයේ කි.මී. දෙකහමාරක් පමණ ගිය විට ආදි මානව සිතුවම් ශේෂ වී පවතින බුදුගල ඓතිහාසික ආරණ්‍ය සංකීර්ණය හමු වේ. එහි ඇති නිධන් ගල ලෙස හඳුන්වන ගල් තලාව මත ආදි මානව සිතුවම් දක්නට ලැබේ.   ගල්තලාව මුහුදු මට්ටමේ සිට අඩි 630ක් උසින් පිහිටා ඇත.

එම ස්ථානය පළමු වරට වාර්තා කර ඇත්තේ 1932 වර්ෂයේ සී.එච්.කොලින්ස් විසිනි. පසුව කිරිඇල්ලේ ඥානවිමල හිමියන් බුදුගල ආරණ්‍ය සේනාසනයේ නටඹුන් පිළිබඳ  තොරතුරු ඉදිරිපත් කර තිබේ. නැවත 1971 දී එල්.ඒ.ආදිත්‍ය විසින් ද බුදුගල නටඹුන් පිළිබඳ තොරතුරු වාර්තා කර ඇත.  කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනය විසින් 2014 වර්ෂයේ දී එම ස්ථානය නැවතත් ගවේෂණයට ලක් කර තිබේ.

  • පුරාතන රෝහණයේ එකම පධානඝර සංකීර්ණය

ප්‍රදේශයේ ප්‍රචලිතව ඇති ජනප්‍රවාදයකට අනුව බුදුගල ආරණ්‍ය යනු බුදුන්වහන්සේගේ ආදාහනය සිදු කරන ලද ස්ථානය වේ. එසේම එම ස්ථානයේ වළගම්බා රජුගේ රාජ්‍ය පාලන යුගයට අයත් රජ මාලිගයක නටබුන් ශේෂ වී පවතින බවට ද ජනප්‍රවාදයේ එයි. එම ප්‍රවාද කෙසේ  වුව ද බුදුගල දක්නට ලැබෙන පුරාවිද්‍යා නටඹුන් අනුව එය පධානඝර ආරාම සංකීර්ණයක් බව සනාථ වේ. මෙරටින් පධානඝර ආරණ්‍ය සේනාසන වර්ගයට අයත් නටඹුන් වාර්තා වී ඇත්තේ සීමිත ප්‍රමාණයකි. වෙහෙර බැඳිගල, කටුකැලියාව, අරන්කැලේ, මිහින්තලය, රිටිගල, බටහිරාරාම සහ අභයගිරිය සුධස්සන පඨානඝරය ඉන් ප්‍රධාන වෙයි. ඒ අතරින් පුරාතන රෝහණයෙන් වාර්තාවන  එකම පධානඝර සංකීර්ණය වන්නේ බුදුගලයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

පාස්කු ප්‍රහාර විමර්ශනය – ගෝඨාභය සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම්…

බුදුගල පධානඝරයක් නටබුන්
  • කාලනිර්ණය

බුදුගල ආරාම සංකීර්ණය ඉදි කරන ලද කාලය පිළිබඳ  විමර්ශනයේ දී   අවධි ත්‍රිත්වයකට අයත් සාධක ලැබෙන බව පෙනේ. පළමු වැනි සේන රජුගේ (ක්‍රි.ව. 833-853) කාලයේ දී රිටිගල ආරාම සංකීර්ණය ඉදි කරන අතරතුර එම රජුගේ ඇමතිවරුන් කිහිපදෙනෙකු තමන්ගේ නාමයන්ගෙන් පිරිවෙන් ඉදි කළ බවට සාධක ඇත. රිටිගල සහ බුදුගල ආරාම සමාන ලක්ෂණවලින් යුක්ත වීම මත ඒවා එකම අවධියක කරන ලද බවට අනුමාන කළ හැකිය.

තුන් වැනි උදය රජුගේ (ක්‍රි.ව. 936-938) කාලයේ දී රෝහණයේ පැවැති තපෝවනය බුදුගල ආරණ්‍ය විය හැකිය. හතර වැනි දප්පුල රජුගේ (ක්‍රි.ව. 924-935) කතරගම ටැම් ලිපියට අනුව එම අවධියේ රුහුණේ පාලකයා වී ඇත්තේ හතර වැනි මිහිඳු කුමරුය. හතර වැනි සේන රජු (ක්‍රි.ව. 954-956) රජ කරන සමයේ දී ඔහුගේ යුවරජු ලෙස කටයුතු කර ඇත්තේ ද හතර වැනි මිහිඳු රජුය. හතර වැනි මිහිඳු රජු පුරාණ රෝහණය පාලනය කරන ලද තිස් වසරක (ක්‍රි.ව. 924-954) කාලයේ දී බුදුගල ආරණ්‍ය සේනාසනය ගොඩ නැඟූ බවට ද මත වේ.

මේ ප්‍රදේශය අනුරාධපුර මුල් අවධියේ සිටම භික්‍ෂූන් වහන්සේගේ පරිභෝජනය සඳහා වෙන් වී පැවැති බවට සාධක බොහෝ වේ. බුදුගල අවට ගල්ටැම්යාය, කුරගල, කිරිමකුළුගොල්ල, දියවින්න, දේවගිරි විහාරය, උඩුපියන්ගල්ගේ, හඳගිරිය, ලෙන්දොර විහාරය, පිළිමද්දාර, වෙහෙරගොඩැල්ල, වෙහෙරගල, ගල්පාය, කොට්ටිඹුල්වල ආදී අනුරාධපුර මුල් අවධියට දිවෙන සාථාන හමු වේ.

  • වාස්තු විද්‍යාත්මක ලක්ෂණ

බෑවුම්ගත භූමි භාගයක පිහිටා ඇති බුදුගල ආරාම සංකීර්ණය අක්කර 15ක පමණ ප්‍රදේශයක පුරා විහිදී පවතී. මාලක තුනක් යටතේ මෙහි නටඹුන්  වෙන් කර හඳුනාගත හැකි වේ. පහළ මාලකයේ සංරක්ෂණය කරන ලද පධානඝරයක් හමු වේ. භූමි මට්ටමේ සිට අඩි 5ක් පමණ උසකින් ආයත චතුරස්‍රාකාර හැඩයෙන් යුත් කුටි දෙකකින් සමන්විත මෙහි මධ්‍යයේ දෙපසට බැසිය හැකි ලෙස පියගැට පෙළ දෙකක් වේ.

කුටිය කොටසේ යුගල වශයෙන් සම දුරින් සිටුවන ලද ගල්ටැම් 16ක නටඹුන් ඇත. මේ පධානඝරයට උතුරු දෙසින් ඊට ආසන්නව වැසිකිළි ගල් පුවරුවකි. පහළ මළුවේ විශාල ගල් පර්වතයක මුදුනේ කුඩා ස්තූපයක් පැවැති බවට සාධක ශේෂ වී ඇත. දෙවැනි මාලකයේ ද සංරක්ෂණය කරන ලද පධානඝරයක නටඹුන් වේ.  විශාලතම පධානඝරය හඳුනාගත හැක්කේ තෙවැනි මාලකයේ ය. එහි ඇති කුටි ද්විත්වය දිගින් අඩි 75ක් සහ පළලින් අඩි 35ක් වේ.  ප්‍රධාන පධානඝර ත්‍රිත්වයට අමතරව තවත් පධානඝර හතරක නටඹුන් මෙහි ශේෂ වී පවතී. ඒවා ප්‍රදර්ශන මට්ටට සංරක්ෂණය කර නැත. දෙවැනි මාලකයේ සිට තෙවැනි මාලකය දක්වා ගමන් කිරීමට ඉදි කරන ලද පියගැට පෙළක් ද වන අතර එය අදියර කිහිපයක් (16ක්) ඔස්සේ ඉහළට පැතිර යයි.

මාලක ලෙස සැකසුනු බුදුගල ආරාම සංකීර්ණයේ භූ දරශනය
  • සිතුවම් සහිත ගල් තලාව

බුදුගල සිතුවම් සහිත විවෘත ගල්තලාව පිහිටා ඇත්තේ සාමාන්‍ය පොළොව මට්ටමේ සිට උස ක්‍රමයෙන් වැඩි වන භූමියකය. සිතුවම් සහිත පාෂණයේ පොළොවෙන් මතු වී ඇති ප්‍රමාණය මීටර 5ක උපරිම දිගකින් සහ උපරිම පළල මීටර 3ක් වේ.

පළමු වරට බුදුගල පධානඝර පරිශ්‍රය  නිරීක්ෂණය කරන අයෙකුට  පාෂාණ සීරුම් සහිත එම ගල් පෘෂ්ඨය එක වර හඳුනාගැනීම අපහසු වේ. එයට හේතු වන්නේ එම පාෂාණ තලය පොළොව මට්ටමේ පිහිටා තිබීම නිසා සහ අවට වෘක්ෂයන්ගෙන් ඇද හැලෙන පත්‍ර ආදියෙන් වැසී පවතින නිසාය.

බුදුගල පාෂාණ සීරුම් සිතුවම් අධ්‍යයනයේ දී පෙනීයන්නේ රළු විවෘත පාෂාණ පෘෂ්ඨයේ මධ්‍යය කොටස අතහැර දෙපස තෝරාගත් ස්ථාන දෙකක පමණක් සිතුවම් නිර්මාණය කර ඇති බවයි. විහාරගල ලෙනේ සහ කොණ්ඩගල පාෂාණ පෘෂ්ඨයේ සීරුම්  සිතුවම් සමඟ සැසඳීමේ දී පෙනීයන්නේ බුදුගලින් දියුණු සීරුම් ලක්ෂණ දැකගත හැකි බවයි. මෙහි සිතුවම් දොරවක්කන්ද, හක්බෙලිකන්ද සහ ඌරාකන්ද සීරුම් සිතුවම් සටහන් මෙන් ගැඹුරට හා අවිධිමත්ව කළ ඒවා නොවේ.

බුදුගල සීරුම් සිතුවම් සමාන ගැඹුරකින් හා පළලකින් යුක්තය. ඒ අනුව පෙනීයන්නේ මෙහිදී ගල් පෘෂ්ඨය සීරීම් කිරීමටම නිපද වූ සුදුසු මෙවලමක් භාවිතයෙන් ඉතා සූක්ෂම ලෙස රේඛා මතු කර ඇති බවයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ රබ්බිඩිගල   ලෙනේ කොටා තිබෙන හස්තියාගේ සීරුම් සිතුවම් ද ඒ ආකාරයෙන් සූක්‍ෂ්මව සමාන ගැඹුරකින් හා පළලකින් යුක්තව නිර්මාණය කර තිබේ. එසේම මොනරාගල දිස්ත්‍රික්කයේ නැව්ගල විවෘත පාෂාණ පෘෂ්ඨයෙන් හමු වන සිංහයාගේ රුව ද ඒ ආකාරයට ඉතා සියුම්ව සූරා නිම කර තිබේ. නැව්ගල සිංහ රූපය ගල් කටුවක් සහ මිටියක් භාවිතයෙන් ඓතිහාසික යුගයේ දී නිර්මාණය කරන්නට ඇති බවට ද මත වේ.

සිතුවම් සහිත ගල්පුවරුව
  • සිතුවම් වාර්තාකරණය

බුදුගල ආරාම සංකීර්ණයේ සිතුවම් පිළිබඳ  පළමු වරට වාර්තා කර ඇත්තේ කිරිඇල්ලේ ඥානවිමල හිමියන් විසිනි. 1942 දී එම හිමියන් රචිත සබරගමුවේ පැරණි ලියවිලි කෘතියේ දී බුදුගල පිළිබඳ  කරුණු දක්වන තැන “මේ සමීපයේ ගරාවැටුණු  බෝධියක් සහ දාගැබක් ද වේ. ඊට මඳක් දුරින් වනයේ පිහිටි ගලක බිලීබාමින් සිටින මිනිසුන් දෙදෙනෙකුගේ ද, ත්‍රිශූලයක සහ වෙනත් ලකුණු කීපයක ද සටහන් යන්තමින් කොටා තිබේ” යන්න සඳහන් කර ඇත.

මේ සිතුවම් පළමු වරට වාර්තා කරන ලද්දේ පී.ඊ.පී.දැරණියගල බවට ද මතයක් වේ. උක්ත අවස්ථා දෙකටම එහා යමින් මේ සිතුවම් පිළිබඳ  පූර්ණ අධ්‍යයනයකින් යුක්තව වාර්තා කිරීමක් පළමු වරට සිදු කරනු ලබන්නේ 1971දී එල්.ඒ.ආදිත්‍ය විසිනි. 1971 මුද්‍රිත Ancient Ceylon  සඟරාවට Buried Finds at budugala  යන මැයෙන් ලිපියක් රචනා කරන හෙතෙම එම සිතුවම් සැලසුම් සහිතව වාර්තා කර ඇත. ඔහු දක්වන පරිදි මෙහි එක් පාෂාණ පෘෂ්ඨයක සිනා වන සිංහයා ද (Smiling Lion) අනෙක් පාෂාණ පෘෂ්ඨයේ එක් කෙළවරක පිම්මක් පනින සිංහයා ද   (Gallaping Lion) සහ එම පාෂාණයේම පහළ කෙළවර මිනිස් රූප ද්විත්වයක්, මාළු වැල තිශුලය සහ ස්වස්ථිකය වේ. ඒ අනුව මෙහි සිතුවම් ස්ථාන තුනකට ගොනු කර දැක්විය හැකිය.

ආදිත්‍ය විසින් හඳුනාගන්නා ලද සිංහ රූප ද්විත්වය මෙයට පෙර ඒ සිතුවම් වාර්තා  කරන කිරිඇල්ලේ ඥානවිමල හිමියන්ගේ නෙත ගැටී නොතිබිණි. 1986 දී බී.ඩී.නන්දදේව විසින් ප්‍රකාශයට පත් කරන ලද Rock art sites of Sri Lanka ලිපියේ දී බුදුගල සිතුවම්වලට විශේෂ අවධානයක් යොමු කර ඇත. මේ සිතුවම් පිළිබඳ  2003 දී වාර්තාවක් ගෙනෙන දයානන්ද බිනරගම එක් සිංහ රූපයක් පිළිබඳ  පමණක් සඳහන් කරයි. ඒ වනාහි ආදිත්‍ය විසින් පිම්මක් පනින සිංහයා ලෙස හඳුනාගෙන ඇති සිංහ රූපයයි. බිනරගම වැඩිදුරටත් සඳහන් කරන්නේ 1987 වර්ෂයේ දී එම සිංහරූපය විනාශ කර ඇති බවය.

2009 වර්ෂයේ දී මේ ස්ථානය පරීක්‍ෂා කරන සත්සර ඉලංගසිංහ එම සිංහ රූපය නිරුපද්‍රිතව ඇති බව වාර්තා කර ඇත. 2018 වර්ෂයේ දී මේ සිතුවම් පරීක්‍ෂා කරන ලිපියේ කතුවරයා ද එම සිංහරූපය නිරුපද්‍රිතව ඇති බව හඳුනාගන්නා ලදී. පාෂාණ පෘෂ්ඨය සූරා කරන ලද මේ සිතුවම් ගොන්න තුළ වර්තමානයේ හඳුනාගත හැක්කේ පිම්මක් පනින සිංහ රූපය, මිනිස් රූප ද්විත්වය, මාළුවැල, තිශූලය සහ ස්වස්තිකය පමණි. ආදිත්‍ය විසින් වාර්තා කරන සිනා වන සිංහ රූපයක් එම ස්ථානයේ වර්තමානයේ හඳුනාගත නොහැකි වේ. ඒ බව ඉලංගසිංහ මහතා ද වාර්තා කර ඇත. ප්‍රදේශවාසීන් ද එවැනි සිතුවමක් පිළිබඳ කරුණු නොදනී.

විවෘත පාෂාණ පෘෂ්ඨයේ පහළ කෙළවරේ පහළින්ම ස්වස්තිකය කොටා තිබේ.  ඊට ඉහළින් මත්ස්‍යයෙකුගේ රුවක් සහ එම මත්ස්‍යයා අමුණා ඇතැයි සැලකිය හැකි රැහැනක් ඉහළට විහිදී යයි. එහි කෙළවර මානව රුවක්වන අතර එහි ඉහළට ඔසවන ලද දකුණු අතින් ත්‍රිශූලයක් දරා සිටී. මානව රුවේ දෙනෙත් වෘත්තාකාරව දක්වා ඇත. එම රුවට දකුණු පසින් විශාලව අඳින ලද මානව මුහුණකි. ශරීරයේ අනෙකුත් අංග එහි දක්වා නැත.

මුව අයා සිටින සිංහ රුව

එම පාෂාණ පෘෂ්ඨයේම අනෙක් කෙළවර මුව අයා සිටින සිංහ රූපයක් වේ. ආදිත්‍ය විසින් පිම්මක් පනින ( Gallapin lion ) ලෙස හඳුන්වා ඇත්තේ එම සිංහ රූපයයි. පහළින් ඇඳ ඇති රූපවලට සාපේක්ෂව එම රූපය විශාලව නිර්මාණය කර තිබේ.  වලිගය ඉහළට කරකැවී ඇත. ඉදිරි පාද යුග්මය සහ පිටුපස එක් පාදයක් පමණක් දක්වා තිබේ. 2014 වර්ෂයේ දී මේ ස්ථානය ගවේෂණයට ලක් කරන රාජ් සෝමදේව එම සිංහ රූපයට ඉදිරියෙන් මඳක් පහළට වන්නට හස්තියෙකුගේ හොඬයක සටහනක් ද වාර්තා කර තිබේ. එම සිතුවම්වලට අමතර  පධානඝර ගොඩනැගිලි ආශ්‍රිත කපා මට්ටම්  කරන ලද ගල් පුවරු කිහිපයක ස්වස්තිකය, සංඛය සහ තවත් සංකේත කිහිපයක් කොටා තිබේ.

  • සිතුවම්වල පසුබිම හා වස්තු විෂය

 

බුදුගල විවෘත පාෂාණ සිරූම් සිතුවම්වලට පසුබිම් වූ වස්තු විෂයන් පිළිබඳ මතවාද රාශියක් හඳුනාගත හැකි වේ. මෙහි ඇති විවෘත ගල්තලයේ එක් කෙළවරක සිංහ රූපයක් ද, අනෙක් පස මාළු වැලක්, මානව රුවක්, එම මානව රුවේ ඉහළට එස වූ දකුණු අත මත ත්‍රිශුලයක් ද, ඒ රුව අසල විශාල මානව මුහුණක් සහ එම සිතුවම් පෙළට පහළින් ස්වස්තිකයක් ද වේ.

මෙරට විසූ ප්‍රාග් ඓතිහාසික මානවයා සිංහයා පිළිබඳ දැන සිටි බවට සාධක වේ. රත්නපුරයේ මැණික් පතලකින් ප්‍රථම වරට සොයා ගන්නා ලද සිංහ දතක් පී.ඊ.පී.දැරණියගල මහතාට යොමු කිරීමෙන් පසුව එය කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ. එසේම කුරුවිට බටදොඹ ලෙන කැණීමෙන් සිංහයෙකුගේ අස්ථි කොටස් සොයාගෙන ඇති අතර ඒවා අදින් වසර 12000-15000ත් අතර කාලයට යන බව තහවුරු කරගෙන ඇත. සිංහරාජයට එම නාමය ලැබීමට පදනම් වී ඇත්තේ එම වනයේ සිංහයන් වාසය කිරීම බව ජනප්‍රවාදිත මතයයි.

මෙරට ආදි මානව සිතුවම් හමු වන පන්නල්ගම, දිඹුලාගල සහ නැව්ගල යන ස්ථානවලදී ද සිංහ රූප නිර්මාණය කර තිබී හමු වී ඇත. නැව්ගල සිංහ රුවේ කඳ කොටස පාර්ශ්ව දර්ශනයෙන් ද, මුහුණ ඉදිරියට දර්ශනය වන ආකාරයෙන් ද නිර්මාණය කර ඇත. වලිගය යොදා ඇත්තේ ඉහළට ය. පන්නල්ගම විවෘත පාෂාණ පෘෂ්ඨයේ ඇති සිංහ රුව නිර්මාණය කර ඇත්තේ ද නැව්ගල මෙන් මුහුණ ඉදිරි දර්ශනයෙන් සහ කඳ කොටස පාර්ශ්ව දර්ශනයෙනි.

මුහුණ සහිත සිතුවම් පෘෂ්ඨය

බුදුගල සිංහරුව නිර්මාණයේදී කඳ කොටස මෙන්ම මුහුණ පාර්ශ්ව දර්ශනයෙන් නිර්මාණය කර තිබේ. මුව අයා සිටින සිංහයාගේ ඉදිරිපාද යුගමය සහ පිටුපස එක් පාදයක් පමණක් දක්වා තිබේ. ඉදිරි වම් පාදයේ ඇඟිලි සූක්ෂමව මතු කර ඇත. ප්‍රාග් බෞද්ධ යුගයේ වන්දනාවට පාත්‍ර වූ භෞතික වස්තූන් අතර සූර්ය දේව වන්දනය ද වේ. සූර්ය දෙවියාගේ ධජය සිංහ රූපය සහිත ධජයක් බව මුලාශ්‍රාවල සඳහන් වේ. සූමේරියාව හා මධ්‍ය ආසියාව ඇතුළු අතීත ශිෂ්ටාචාරවල දේවත්වයට පත් ඉස්තාර්, සර්වානි, චණ්ඩි සහ කොර්වාසි දෙවඟනන්ගේ රථය ලෙස යොදා ගෙන ඇත්තේ ද සිංහයාය. රාශි චක්‍රයේ සිංහ රාශිය පිළිබඳ  එන මතවාද පැරණි මිනිසාගේ සිට පැවත එන්නකි.

මෙහි දැක්වෙන මත්ස්‍යයා, ස්වස්ථිකය, ත්‍රිශුලය සහ මානව රූ ද්විත්වය පිළිබඳ  ද මතවාද රාශියක් වේ. මානව රූ ද්විත්වයෙන් කතරගම දෙවියන් (ස්කන්ධ කුමරු) සහ වල්ලි අම්මා නිරූපණය කරන බව ප්‍රදේශවාසින්ගේ අදහස වේ. මෙරට වැදි ජනතාව ස්කන්ධ කුමරුගේ දෙවැනි භාර්යාව වූ වල්ලි අම්මා කුඩා කල රැකබලා ගත් බවට ජනප්‍රවාදයේ එයි.  වැදි ජනතාව තම ප්‍රධාන යක්ෂයා වූ කන්දේ යකා ද සමඟ කතරගම දෙවියන් ද අදහති. කන්දේ යකා සහ කතරගම දෙවියන් යනු එක් අයෙකු බවට ද මත වේ. ත්‍රිශූලය වනාහි යුද්ධායුධයකි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ සංකේත අතර මෙන්ම පැරණි කාසි අතර ද එම සංකේතය වේ. ශිව දෙවියන් සහ සම්බන්ධ ත්‍රිමූර්තිය නිරූපණය කිරිම සඳහා ද එය භාවිතා කර ඇත.

මේ සිතුවමේ දී  ත්‍රිශුලය භාවිතා කර ඇත්තේ ආගමික අර්ථයෙන් නොවන බව දයානන්ද බිනරගම සඳහන් කරයි. ඔහු දක්වන්නේ මෙහිදී ත්‍රිශූලය යොදාගෙන ඇත්තේ දඩයම් ආයුධයක් සංකේතවත් කිරිමට බවය. බෞද්ධ කලා සංකේතයක් වන ත්‍රිරත්නය නිර්මාණය වී ඇත්තේ ත්‍රිශූලය පදනම් කරගෙන බවට මත වේ. එසේම මෙහි ආරම්භය මොහොන්දෝජාරෝ ශිෂ්ටාචාරය දක්වා දිවෙන බවට මත ඇත.

මේ සිතුවමේ දැක්වෙන ස්වස්ථිකය සහ මත්ස්‍ය සලකුණ වනාහි දිර්ඝ කාලයක් තිස්සේ විවිධ ජන සමාජවල භාවිතා කරන ලද සංකේත යුග්මයකි. අක්ෂර භාවිතය ආරම්භයට පෙර පවා එම සංකේත ද්විත්වය භාවිතා වී තිබේ. හබරකඩ වජිර හිමියන්ට අනුව සිංහල “ම” අක්ෂරයේ ආරම්භයට බලපෑ ඇත්තේ මත්ස්‍ය සලකුණයි. එසේම මත්ස්‍ය සලකුණ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආගමික කටයුතු සම්බන්ධයෙන් අංශ කිහිපයකින් වැදගත් වී ඇත. මත්ස්‍යයා විෂ්ණුගේ දස අවතාරයෙන් එකකි. මීන රාශිය පිළිබඳ නක්ෂත්‍රයේදී ද කථිකාවට කල් වේ. ඉන්දු නිම්න සංකේත අතර යෙදුණු මුල්ම ස්ථාවර සංකේතය වන්නේ ස්වස්තිකයයි. එය යොදනු ලබන ශිල්පියාගේ අභිමතය පරිදි ඉතා සුළු වෙනස් කිරීමක් හැරුණුකොට එම සංකේතය වසර දහස් ගණනක් තිස්සේ එකම ස්වරූපයකින් යොදා ඇත. එනම් ඉන්දු නිම්න මුද්‍රා අතර යෙදුණු ස්වස්තිකයම අශෝක ලිපිවල යොදා ඇති ආකාරය හඳුනාගත හැකි ය.

මෙරට ද කේවලව සහ වෙනත් අංග සහිතව ස්වස්තිකය සංකේත අර්ථ ප්‍රකාශනය සඳහා යොදාගෙන ඇත. මැකස් මුලර් ස්වස්තිකය කොටස් දෙකකට බෙදා ඇත. ඒ අනුව බාහු කෙළවර දකුණු අතට නැමී ඇති ස්වස්තිකය නියම ස්වස්තිකය බවත් බාහු කෙළවර වම් අතට නැමී ඇති සංකේතය සව්වස්තික බවත්ය.

  • බුදුගල සිතුවම් ඇන්දේ කුමණ කාලයේ ද?

බුදුගල විවෘත පාෂාණ පෘෂ්ඨ සීරුම් සිතුවම් ඉතා සියුම්ව සහ ඕනෑකමින් නිර්මාණය කර තිබේ. එසේම එහි වන ඇතැම් සංකේත පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පෙනීයන්නේ ඒවා ඓතිහාසික යුගයේ දී නිර්මාණය වන්නට ඇති බවය. ත්‍රිශූලය නිර්මාණය වන්නේ ලෝහ භාවිතයේ ආරම්භයෙන් පසුව වන අතර ඒ අනුව එම සංකේතය මෙහි දක්නට ලැබීමෙන් මේ සිතුවම් ඓතිහාසික යුගයේ විසූ මානව නිර්මාණ ලෙස හැඳින්වීම වඩා සුදුසු බව පෙනේ. එහෙත් ආදි මානව සිතුවම් හමු වන වෙහෙරගල කන්ද ලෙන ද මේ ආසන්නයේම පිහිටා ඇති බව මෙන්ම මේ අවට ස්ථාන රාශියකින් (කූරගල, බෙල්ලන්බැදි පැලැස්ස, උඩුපියන්ගල්ගේ) ප්‍රාග් ඓතිහාසික ජනාවාස වාර්තා වී තිබීම ද අවධානයට ලක් විය යුතු සාධකයක් වේ.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

දින 03ක් ආහාර ගෙන නෑ… යාපනය සරසවියේ උපවාස කරන සිසුහු බිම වැතිරෙති…

Next Post

ඌවතැන්නේ සුමන හිමිට ජනාධිපති සමාව ලැබිය හැකිනම් දුමින්ද සිල්වාටත් එය ලැබිය හැකියි…

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.