ජානක ලියනආරච්චි –
යුගයක තවත් එක් සලකුණක් මැකී ගිය බව වේදනාවෙන් ලියා තබමි. සිරිනිමල් ලක්දුසිංහයන් අප අත්හැර ගොස්ය.
සිරිනිමල් ලක්දුසිංහ අවිවාදිත වූ මහා මනුෂ්‍යයෙකි. එහෙත් ඔහු මා සිතේ තැන්පත්ව සිටියේ ගාම්භීර ප්රාඥයෙකු ලෙස නොවේ. දිදුලන හදවතක් සහිතව දීප්තිමත් බලාපොරොත්තු දල්වාගෙන සමාජ වෙනසක් ප්‍රාර්ථනා කර ඒ වෙනුවෙන් අව්‍යාජව කැපවුණ තරුණයෙකුගේ ප්‍රාණවත් හදවතක් සහිත නිර්ව්‍යාජ ගැමියෙකු ලෙසය. සාහිත්‍යකරුවෙකු සහ කවියෙකු ලෙස ඔහු ගමේ රසික පර්ශදයට වඩාත් සමීපව සිටියේය.
වාටිය සහිත තොප්පියක් හිස දමාගෙන සරමකින් සහ අත් කොට කමිසයකින් සැරසී බස්තමක් අතැතිව පාරමුල්ල පාර දිගේ සන්සුන් ගමනින් පැමිණ වේයන්ගොඩ දුම්රියපළ පරිශ්‍රයේ පිහිටි ‘බබල් ග්‍රොසරිය’ ඉදිරියේ ඇති කුඩා බංකුවේ වාඩිවී පුවත්පතක් බලමින් සිටින මේ ප්‍රසන්න මිනිසා, වේයන්ගොඩ දුම්රිය ස්ථානය වෙත උදෑසන එන සියක් දෙනාට හුරු මිහිරි දසුනක් වුවා මතකය. ජීවිතයේ මහා ගැඹුරු ඉසව් අතැඹුලක් සේ ගෙන රසවත් සල්ලාපයක් ගොනු කළ හැකි මේ සුන්දර මනුෂ්‍යයා යළිත් මට දක්නට නොලැබෙනු ඇතැයි සිතීම මහා වේදනාවක් සේ මා දවමින් ඇත.
ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ කවුද?
ඔහු සංකේතවත් කළේ මේ රටේ ප්රබුද්ධ විද්වතුන්ගේ යුගයේ ජීවමාන සංකේතය ය. ශ්‍රී ලාංකේය ජන උරුමය අවදි කරමින් යුග මෙහෙවරක් කළ විශිෂ්ටයින් අතර ලක්දුසිංහයන් එක් පරිච්ඡේදයක් ආවරණය කළේය. ශ්‍රී ලංකා අධ්‍යයන ඉතිහාසයේ පුරාවිද්‍යා ගෞරව උපාධියක් හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා මේ පුරාවෘත්තයක් බඳු මිනිසාය.
සිරිනිමල් ලක්දුසිංහයන් උපදින්නේ 1939 ඔක්තෝම්බර් මස 18 වනදා ගම්පහ සියනෑ කෝරළයේ, වේයන්ගොඩට නුදුරු කුඩා ගමකය. මව ඇසිලින් ලියනගේය. පියා ඩබ්ලිව්.පී. ජානිස්ය. පියා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගිණුම් පරීක්ෂකවරයෙකි. එමෙන්ම එම දෙපාර්තමේන්තුවේ ප්‍රබල වෘත්තීය සමිති නායකයෙකි. පියාගෙන් උරුම වූ ඒ සාධාරණත්වය උදෙසා වූ හඬ සහ නායකත්ව ගුණාංග ලක්දුසිංහයන්ගේ පසුකාලීන ජීවිත දර්ශනය ගොඩනගා තිබිණි.
ඔහුගේ මූලික අධ්‍යාපන පදනම වැටුණේ වේයන්ගොඩ ප්‍රාථමික විද්‍යාලයෙනි. අනතුරුව වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූ ඔහු ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිය ද්විතීයික අධ්‍යාපනය ඉතා සාර්ථකව නිම කළේය. 1963 වසරේදී අ.පො.ස (උසස් පෙළ) විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ ලක්දුසිංහයන් එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලය ලෙස හැඳින්වුණු වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. හෙතෙම 1967 වසරේදී පුරාවිද්‍යා විෂය පිළිබඳ ගෞරව උපාධියක් සහිතව සිය ශාස්ත්‍රීය අධ්‍යයන ජීවිතයේ මුල් කාර්තුව නිමා කළේය. ශ්‍රී ලාංකේය අධ්‍යයන ඉතිහාසයේ පුරාවිද්‍යා ගෞරව උපාධියක් හිමි කරගත් පළමු ලාංකේය විද්‍යාර්ථයා සිරිනිමල් ලක්දුසිංහයන්ය.
විශ්වවිද්‍යාල අවධිය ලක්දුසිංහයන්ගේ චින්තනය වඩාත් පුළුල් කළ කාලසීමාවකි. එකල වාමාංශික දේශපාලනය කෙරෙහි දැඩිව නැඹුරු වූ ඔහු ශිෂ්‍ය සංගම්හි විවිධ නිලතල හොබවමින් සක්‍රීය භූමිකාවක් ඉටු කළේය. එහිදී ආරිය බුලේගොඩ, පී. කිරිවන්දෙණිය, අ.ගා. ජයසේන මෙන්ම අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමි සහ පොහොද්දරමුල්ලේ ප්‍රේමාලෝක හිමි වැනි ප්රගතිශීලී සමාජ පෙරටුගාමීන් සමග ඇරඹූ සමාජ සංවාදය ඔහු ජීවිත කාලය පුරාම යාවත්කාලීන කළ අයුරු දුටුවෙමි. ශ්‍රී ලාංකික සමාජය ආර්ථිකව බිඳ වැටී අන්ත පීඩාවට පත් වූ මොහොතේ ඇති වූ සමාජ දේශපාලන පෙරළිය නිවැරදි දිශාවට මෙහෙයවීමට විද්වතෙකු ලෙස ඔහු කළ සක්‍රීය දායකත්වය අප අත් වින්දේය. හැට් එකක් හිසේ පැළඳ රතු පැහැති අත් කොට කමිසයකින් සැරසුන අසූ විය පසුවූ මේ වියපත් තරුණයා, දිදුලන දේශපාලන කරලියේ විද්වත් පර්ශදය නියෝජනය කරන අයුරු මීට වසරකට පෙරත් ගම්වාසීන්ට අරුමයක් වූයේ නැත.

වෘත්තීය මෙහෙවර
ලක්දුසිංහයන්ගේ සැබෑ ශාස්ත්‍රීය අධ්‍යයනයේ දෙවැනි පියවර ආරම්භ වන්නේ වර්ෂ 1970 දීය. ඒ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ මානව වංශ විද්‍යා සහකාර තනතුරට පත්වීමත් සමඟය. 1976 සිට 1994 දක්වා හේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂවරයා ලෙස වගකීම් දරමින් කෞතුකාගාර ප්‍රවර්ධනය උදෙසා භාණ්ඩ රැස්කිරීම, ලේඛනගත කිරීම, සංරක්ෂණය සහ පර්යේෂණ ක්ෂේත්රයන්හි අනුපමේය සේවාවක් ඉටු කළ ආකාරය ඉතිහාසයේ ලියැවී තිබේ.
සිය වෘත්තීය වගකීම් දරමින් හෙතෙම සිය ශාස්ත්‍රීය අධ්‍යයනයන් අඛණ්ඩව කරගෙන ගියේය. ලක්දුසිංහයන් සිය පශ්චාත් උපාධි අධ්‍යයනය කරනු ලැබුවේ නෙදර්ලන්තයේ ඇම්ස්ට්‍රඩෑම් සරසවියේ අග්නිදිග ආසියානු පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ජේ.ඊ.වෑන් ලොයුහිෂන් යටතේය.
අනතුරුව එංගලන්තය, නෙදර්ලන්තය, ඉන්දියාව සහ තායිලන්තයේ දී කෞතුකාගාර විද්‍යාව සහ පුරාවිද්‍යාව ආශ්රිත අධ්‍යයනයන්හි නිරත වුණ හෙතෙම, ඉන් ලබා ගත් මහා ශාස්ත්‍රීය දැනුම් සම්භාරය ජාතිය වෙනුවෙන් ප්‍රායෝගික කළ විද්වතෙක් වූයේය. ඊට කදිම නිදසුන වන්නේ 1944 දෙවන ලෝක යුද්ධ සමයේ සිට ආරක්ෂක හේතූන් මත වසා දමා තිබූ කොළඹ කෞතුකාගාරයේ ප්‍රධාන මැදිරිය නැවත විවෘත කිරීමට පුරෝගාමී මෙහෙවර කිරීමට ඔහුට හැකි වීමය. වසර 28ක් පුරා මහජනතාවට අහිමි වී තිබූ එම ප්‍රධාන ගැලරිය, නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව ප්‍රතිසංවිධානය කර යළි ප්‍රදර්ශනයට එක් කිරීමට ලක්දුසිංහයන්ට හැකි වූයේය.
ජාතික කෞතුකාගාර අධ්යක්ෂ ධූරය – ලක්දුසිංහයන් 1994 දී ජාතික කෞතුකාගාර අධ්යක්ෂ ධූරයට පත්වන්නේ එම තනතුරට පත්වන ප්‍රථම පුරාවිද්‍යාඥයා ලෙසය. සිය ධූර කාලය තුළ මේ විද්වතා මුළු මහත් කෞතුකාගාර ජාලයේම පැවති අඩුපාඩු එකින් එක හඳුනාගෙන ඒවාට ස්ථිරසාර විසඳුම් ලබා දීමට පියවර ගත්තේය. ඉඩකඩ සීමිතව තිබූ කොළඹ කෞතුකාගාර ප්‍රධාන පුස්තකාලය වෙනත් ස්ථානයකට ගෙන යාමේ අවදානම මතු වූ අවස්ථාවේදී, එවකට සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය ඒ.වී. සුරවීර හරහා ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දැනුම්වත් කිරීමට ඔහු සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල් මිලියන 186ක ප්‍රතිපාදන මත ඉදිවූ අතිනවීන සිව්මහල් ගොඩනැගිලි සංකීර්ණය කෞතුකාගාරයේ අභිමානය තවදුරටත් තහවුරු කළේය.
ලක්දුසිංහයන්ගේ තවත් සුවිශේෂී ලක්ෂණයක් වූයේ අනාගත පරපුර කෙරෙහි ඔහු තුළ වූ විශ්වාසයයි. ඔහු කෞතුකාගාර සේවයට එක්වන විට එහි සිටි උපාධිධාරීන් සංඛ්‍යාව අතළොස්සකි. එම තත්ත්වය වෙනස් කරමින් දක්ෂ උපාධිධාරීන් රැසක් සේවයට බඳවා ගැනීමට ඔහු මූලිකත්වය ගත්තේය. තවමත් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවතින්නේ ඒ ශාස්ත්‍රීය විද්වතුන්ගේ පරිපාලනය යටතේය.

පශ්චාත් පුරාවිද්‍යා අධ්‍යයන ආයතනයේ අධ්යක්ෂ ධූරය – කෞතුකාගාර අධ්යක්ෂ ධූරයෙන් විශ්‍රාම ගත් ආචාර්ය ලක්දුසිංහයන් පුරාවිද්‍යා ක්ෂේත්රයේ ප්‍රකට කළ විශාරද බව හේතුවෙන් වර්ෂ 1999 දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්යක්ෂ ධූරයට පත් කරනු ලැබුවේය. ඔහු එම ධූරයට පත් වන්නේ කීර්තිමත් පුරාවිද්‍යාඥයෙක් වූ මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන්ගේ අනුප්‍රාප්තිකයා ලෙසය.
පුරා වසර 05ක් බැගින් වූ ධූර කාල දෙකක් ඔහු එම ආයතනය හසුරවනු ලැබුවේය. ඔහුගේ නායකත්වය යටතේ කැලණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය උසස් පර්යේෂණ සඳහා වූ සක්‍රීය මධ්‍යස්ථානයක් බවට පත් විය. තරුණ පුරාවිද්‍යාඥයින් පුහුණු කිරීමට සහ ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීමට හේ දැවැන්ත කැපකිරීමක් කළේය.
ඔහුගේ පරිපාලනමය කුසලතාව සහ ශාස්ත්‍රීය ගැඹුර ශ්‍රී ලංකාවේ නවීන පුරාවිද්‍යා අධ්‍යාපනය හැඩගැස්වීමට බෙහෙවින් උපකාරී වූයේය. නව පරම්පරාව විද්‍යාත්මක නිරවද්‍යතාවයෙන් සහ සංස්කෘතික සංවේදීතාවයෙන් යුතුව අතීතයට පිවිසෙන බවට වූ නිශ්චිත තහවුරුව මේ විශිෂ්ට මිනිසා ස්වකීය පාලන කාලය තුළ දී ජාතියට සහතික වූයේය.
2009 දී ඔහු සිය වෘත්තීය ජීවිතයට සමු දෙන විට තායිලන්තයේ සිල්පකෝන් සරසවියේ ආගන්තුක මහාචාර්ය පදවියෙන් පිදුම් ලබා තිබිණි. අන්තර්ජාතික පුරාවිද්‍යා සංවිධානයක් වන ABIA සංවිධානයේ ප්‍රථම ආසියාතික සභාපතිවරයා ලෙස පත් වී තිබිණි.
විශේෂ ශාස්ත්‍රීය මෙහෙවර
1990 දශකයේ ක්‍රියාත්මක වූ ගාලු වරාය සමුද්‍ර පුරාවිද්‍යා ව්‍යාපෘතිය වැනි ප්‍රධාන ව්‍යාපෘතිවලදී ඔහු ප්‍රධාන භූමිකාවක් ඉටු කළේය. එහිදී ඔහුගේ ප්‍රවීණත්වය, වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු ඓතිහාසික භූමිකාවට සම්බන්ධ දියයට උරුමයන් ලේඛනගත කිරීමට සහ සංරක්ෂණය කිරීමට ශාස්ත්‍රීය පදනම නිර්මාණය කළේය.
ඔහු ශ්‍රී ලංකා පුරාවිද්‍යා සභාවේ මුල්ම සාමාජිකයෙක් වූයේය. පුරාවිද්‍යා ක්ෂේත්රය වෘත්තීමය මට්ටමට ඔසවා තැබීමට සහ පර්යේෂණ හා සංරක්ෂණය සඳහා ඉහළ ප්රමිතීන් ඇති කිරීමට ඔහු විසින් කළ කැපවීම නොමැකෙන විශිෂ්ට සලකුණක් තබා ඇත්තේය.
ලක්දුසිංහයන්ගේ ශාස්ත්‍රීය මෙහෙවර ගැන කතා කරන විට කැපී පෙනෙන සිංහල ප්‍රකාශන අතර ‘පුරාවිද්‍යා රචනා’, ‘භාරතීය බෞද්ධ උරුමය නැවත සොයා ගැනීම’ සහ ‘ශ්‍රී ලංකාවේ පැරණි හින්දු ප්‍රතිමා’ වැනි කෘතීන් ප්රමුඛ වේ. ශ්‍රී ලංකාවේ උරුමය වඩාත් පුළුල් දකුණු ආසියානු සහ බෞද්ධ සම්ප්‍රදායන් සමඟ නැවත සම්බන්ධ කිරීමට ඔහු තුළ තිබූ දැඩි උනන්දුව මෙම කෘතීන් හරහා මැනවින් පිළිබිඹු විය. මීට අමතරව ‘සිංහලේ ලෙන් විහාර’ වැනි ඔහුගේ මුල්කාලීන ලේඛන මගින් දිවයිනේ ආගමික සහ වාස්තු විද්‍යාත්මක ඉතිහාසයේ එතරම් ප්‍රකට නොවූ අංශ ලේඛනගත කිරීමට ඔහු තුළ තිබූ කැපවීම තහවුරු වුණේය.
ඇගැයීම්
ඔහුගේ ජීවිත කාලය පුරා සිදුකළ සේවය ඇගයීමට ලක් කරමින් 2010 වසරේදී ‘සිරිනිමල් ලක්දුසිංහ අභිනන්දන ග්‍රන්ථය’ (Sirinimal Lakdusinghe Felicitation Volume) නමින් සුවිශේෂී උපහාර කලාපයක් ප්‍රකාශයට පත් කරන ලදී. මහාචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන, ගාමිණී අධිකාරි සහ ආර්.ඒ.ඊ. කනිංහැම් වැනි ප්රමුඛ පෙළේ විද්වතුන් විසින් සංස්කරණය කරන ලද පිටු 443කින් යුත් මෙම රචනා එකතුව මගින් පුරාවිද්‍යාව, කෞතුකාගාර විද්‍යාව සහ උරුමයන් පිළිබඳ ප්‍රතිපත්ති කෙරෙහි ඔහු ඇති කළ බලපෑම නිශ්චය කොට සමුච්ඡගත කර තිබිණි.
ලක්දුසිංහ නම් සාහිත්‍යවේදියා
ලක්දුසිංහයන් සතුව සිය ශාස්ත්‍රීය ජීවිතය නිර්වචනය කළ මානවවාදී ආත්මයක් තිබිණි. ඔහු ජිවිතය පිරිසිඳි දක්ෂ කවියෙකු සහ සහිත්යකරුවෙක් ද විය. ඔහුගේ කාව්‍ය සංග්‍රහයන් සහ කථා කීමේ විලාසය, මෘදු හාස්‍යය සහ තීක්ෂණ සමාජ විවරණයන්ගෙන් සමන්විත වූ අතර, ශ්‍රී ලාංකේය හදවත්වලට සමීප තේමාවන් ඒ හරහා ස්පර්ශ කළේය. සොබාදහමේ සුන්දරත්වය සහ එහි බිඳෙනසුලු බව, ජනවාර්ගික ගැටුම්වලින් ඉතිරි වූ වේදනාව, පන්ති විරහිත සමාජයක් සඳහා වූ අරගලය සහ සාමාන්‍ය ජනතාවගේ නිහඬ ඔරොත්තු දීමේ හැකියාව වැනි අනුභූතීන් ඔහුගේ කවියට විෂය විය.
සගයන් සහ සිසුන් ඔහුව සිහිපත් කරන්නේ ආදර්ශයෙන් මඟ පෙන්වූ, ඉවසිලිවන්ත, දිරිමත් කරන සහ ඕනෑම වේලාවක දැනුම බෙදා ගැනීමට සූදානම්ව සිටි ගුරුවරයෙකු ලෙසය. ජීවත් වෙමින් සිටි අවසන් මොහොත තෙක්ම පුරාවිද්‍යා ස්මාරක සම්බන්ධව මතුවන ගැටලු විද්‍යාත්මකව පහදා දී නිරාකරණය කිරීමට අපට ඉතිරිව සිටි ජීවමාන දැනුම් කෝෂ්ඨාගාරය ලක්දුසිංහයන්ය. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෘත්තිකයින් අපට වඩා හොඳින් දන්නේය.
සිරිනිමල් ලක්දුසිංහයන් දිවි සැරිය නිමා කරන්නේ පුරාවිද්‍යා උරුම ක්ෂේත්රයට දාර්ශනික සම්ප්රදායක හැඩතල එක් කළ විශිෂ්ටයෙක් ලෙසිනි. ජීවිතය පිරිසිඳ දත් සැබෑ විද්වතෙක් ලෙස ඔහු ගෙවූ ජීවිතය අර්ථ පූර්ණ එකක් බව ලියා තබමි.
මිනිස්සු හැමදාම ඉන්නට පැමිණියාහු නොවෙති. නික්ම යන මොහොත පිළිගත යුතුය. අපව දවන්නේ මිනිසෙකුගේ නික්ම යාම නොවේ. ඉන් ඉතිරිවන දැවැන්ත ශාස්ත්‍රීය හිදැස පිරවීමට සමත් ප්‍රමාණිකයින් තවත් නොමැති වීමය







