ප්‍රවීණ ශ්‍රී ලංකා ගායිකාවක වූ මරියසේල් ගුණතිලක තවත් අප අතර නැත. ඇය අප හැර ගොස්ය. ඒ හැර යෑම ගැඹුරු වේදනාවක් ශේෂ කර තිබේ.
මරියසේල් උපත ලබන්නී 1958 ජූනි මස 11 වැනිදා ය. අද දිනයේ ඇය අප හැර යනවිට ඇය 68 වැනි වියැතිය. ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්රයේ දීර්ඝකාලීන ජනප්‍රියත්වයක් හිමි කළ සුවිශේෂී කලාකාරිණියකවූ මරියසේල් වෙනම පාටක් සහ ඉන් උපන් අනන්‍ය මිහිරක් සිංහල ගීත කලාවට එක් කළ කලාකාරිනියකි. සිංහල ගීයට බටහිර රිද්මයත්, පොප් සහ සිංහල වේග රිද්ම ගීතයෙත් කාන්තා හඬ පෞරුෂය සලකුණු කළේ මරියසේල්ය. ශ්‍රී ලාංකික සංගීත ප්‍රේමීන් අතර සදාකාලික ජනප්‍රියත්වයක් ඇය විසින් සලකුණු කළාය.
සංගීත ගමනේ ආරම්භය
මරියසේල් ගුණතිලක උපත ලැබුවේ කොළඹ නුගේගොඩේදීය. නුගේගොඩ සාන්ත ජෝසප් කාන්තා විද්‍යාලයේ ඇය අධ්‍යාපනය ලැබුවාය. ඇයගේ සංගීත ගමන ආරම්භ වූයේ පාසල් දැරියක ලෙසය. එවිට ඇයගේ වයස අවුරුදු 07කි.
අවුරුදු 10දී මරියසේල් සිලොන් ඔබ්සවර් (Ceylon Observer) මගින් පැවැත්වූ සමස්ථ ලංකා ළමා ගායන තරගයේ දී කණිෂ්ඨ අංශයේ ජයග්‍රහණය අත්පත් කරගත්තාය. මේ ජයග්‍රහණය සමග ඇයට “Junior Rhythmiers” නම් ප්‍රසිද්ධ ප්‍රී-ටීන් සංගීත කණ්ඩායමට බැඳීමට අවස්ථාවක් ලබා දුන්නේය.
1960 ගණන්වල රටේ ගුවන්විදුලි ආයතනය වූ රේඩියෝ සිලෝන් (Radio Ceylon) ඔස්සේ මෙම කණ්ඩායමේ ගීත ප්‍රචාරය වීම නිසා ඇයගේ කීර්තිය විශාල ලෙස ප්‍රචලිත විය. ඒ වකවානුව ගුවන්විදුලිය යනු රටේ බහුතර ජනතාවකගේ විශ්මය ජනක විනෝදාස්වාදන මාධ්‍යය ය.
මරියසේල් සම්භාව්‍ය ගිටාර් අධ්‍යාපනය ලැබුවේ ප්‍රසිද්ධ ගිටාර්වාදක වින්ස්ටන් ජයවර්ධනගෙනි. ගායන අධ්‍යාපනය ලැබුවේ එස්ටෙල් ද නීස්ගෙනි.
“කැන්ඩි ලමිස්සි” සහ කීර්තියේ උච්චතමය
1977 දී නිකුත් වූ “කැන්ඩි ලමිස්සි” ගීතය ඇයගේ කලාපථයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය විය. මෙය තත්කාලික ජනප්‍රිය ගීතයක් පමණක් නොව, ඇයගේ ජීවිත කාලය පුරාම ඇය හඳුන්වනු ලැබූ අන්වර්ථ නාමයක් බවට පත්විය. ගීතයේ සාර්ථකත්වය නිසා ඇය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව, නේපාලයේ Soaltee Oberoi වැනි ජාත්‍යන්තර හෝටල්වලත් ගායනයන්හි නිරත වූවාය.
කෙසේ වෙතත්, එම වසරේම නුවර එළියේදී සිදුවූ අනතුරකින් ඇයට බරපතල තුවාල සිදුවිය. එම අනතුරින් ප්‍රකෘතිමත් වූ පසු ඇය ක්ලැරන්ස් විජේවර්ධන, එම්.එස්. ප්‍රනාන්දු, ස්ටැන්ලි පීරිස්, අජන්තා රණසිංහ, සුනිල් පෙරේරා (ජිප්සීස්) වැනි අනන්‍ය ගීත කලාවක් වෙනුවෙන් පෙනී සිටි ශිල්පීන් සමඟ සහයෝගයෙන් ඇය සිය කලා ජීවිතය ශක්තිමත් ලෙස ගොඩනගා ගත්තාය.
ඇයගේ ගීත කලාව වෙනස්ම ආරකට එක් කළ අපූරු ගීතය අජන්තා රණසිංහ විසින් ලියන ලදුව ඇයගේ පුතා වෙනුවෙන් ඇය ගැයූ “සිහින නෙළුම් මල්” ගීය බව සිතේ. ඇයගේ ගීත පරාසය මහා පුළුල් තලයක විහිදී තිබිණි.
කැන්ඩි ලමිස්සි, යොවුන් සීන ලෝකේ, රහසයි සොඳුරු ජීවේ, කුමරාණනේ, නෙළුම් මලේ පෙති කඩලා, පහන් නොවන රැයක සිට සිහින නෙළුම් මල් (මව්වරුන්ට උද්දිෂ්ට) දක්වා ඇයගේ ගීත පරාසය විහිදී ගියේය.
සුනිල් පෙරේරා, එම්.එස්. ප්‍රනාන්දු, දල්රීන් සුබි, රොනී ලීච්, ක්ලැරන්ස් විජේවර්ධන, ඩෙස්මන්ඩ් ද සිල්වා, අන්නෙස්ලි මාලේවන වැනි කලාකරුවන් සමඟ මරියසේල් පැමිණි දුර මහත්ය.
2026 ජූලි 10 වන දින (අද) උදෑසන කළුබෝවිල ශික්ෂණ රෝහලේ (කොළඹ දකුණු රෝහල) අසනීප තත්ත්වයකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇයගේ වයස අවුරුදු 68කි. ඇයගේ ගායන ශූරත්වය, විවිධත්වය සහ ජනතාව සමඟ ඇති සමීපත්වය නිසා ඇය ශ්‍රී ලංකා සංගීත ඉතිහාසයේ නොමැකෙන නමක් ලෙස පැවතීම නියතය. ඇය නිහඬ වුවද ඇය ගැයූ ගී සදා අප අතර රැඳෙන බව විශ්වාසය.









