ඊයේ උදේ වරුවේ ඇඳිරි නීතිය ය. අපි හිටියේ ජනාධිපතිවරණයේ වික්ෂිප්තය ඇතුළේය. අපට හොරෙන් වාගේ ඊයේ මැච් එක ගැහුවේය. ඒ 21 වැනිදා ඡන්දය දමා එන්නට අපේ ටීම් එකට නිවාඩුවක් දීමෙන් පසුය. ඒ නිවාඩුවෙන් හොඳින්ම ප්‍රයෝජන ගත්තේ නවසීලන්ත ක්‍රීඩකයන් ය. නවසීලන්ත වේග පන්දුකාර යෞවනයා විලියම් ඕ’රූක් ඇතුළු වේග පන්දු යවන්නන් හිටියේ ගාල්ලේ ලුණු කාරම මුසු මුහුදු හුළඟ විනිවිද වැටෙන ගිනි අවුව්ට හොඳටම හෙම්බත් වෙලාය.
අන්තිම දවස අද (23) ය. අප යළිත් හිටියේ රටේ විධායක ජනාධිපතිවරයා දිවුරුම් දෙන තැනය. ජනාධිපතිවරයා දිවුරුම් දී ජාතිය අමතා ඉවර වෙන්නට කලින් මැච් එක දිනුම්ය. ශ්‍රී ජයග්‍රහණය සඳහා කඩුළු 2ක් ලබා ගත යුතු විය. නවසීලන්තයට මැච් එක දිනාගන්නට ලකුණු 68ක් ගත යුතු වූයේය.
ඊයේ තරගය නිමා වනවවිට නවසීලන්ත කණ්ඩාම ලකුණු 207ට කඩුළු 08කි. එක් අන්තයක රචින් රවීන්ද්‍ර නොදැවි ලකුණු 91ක් සමග නැංගුරම් ලාගෙන සිටියේය. අනෙක් අන්තයෙන් ඉතිරි වි සිටියේ තිරිව ඉන්නේ දඟ පන්දු දෙන්නාවන අජාස් පටෙල් සහ වේග පන්දු යවන විලියම් ඕ’රූක් පමණි.
අන්තිම දවසේ යැව්වේ පන්දු ඕවර 4කි. දෙකක් ධනංජය ය. අනෙක් දෙක ප්‍රභාත් ජයසූරියය. ප්‍රභාත් ජයසූරිය සිය මුල් ඕවරයේ රචින් රවීන්ද්‍ර දවා ගත්තේය. ඔහු ලබාගත්තේ ලකුණු 92කි. අද ලැබුවේ එක් ලකුණක් පමණි. තරගයේ හතරවැනි ඕවරයේ දී ප්‍රභාත් අද යැවූ දෙවැනි ඕවරයේ දී ඔහු විලියම් ඕ’රුක් ගේ කඩුල්ල කුඩු කළේය. ප්‍රභාත් දෙවැනි ඉනිමේ ලකුණු 68කට කඩුළු 05කි. පළමු ඉනිමේ ලකුණු 136ට කඩුළු 04කි. ඉනිම දෙකේදීම ලකුණු 204කට කඩුළු 09කි. තරගයේ වීරයා ප්‍රභාත්ය.
තරගය ඇදුන හැටි
ලෝක ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වල අප ඉන්නේ 06 වැනි තැනය. නවසීන්ත කණ්ඩායම 05වැනි තැනය. ඒ නිසාම මේ තරගාවලිය ලෝක ශූරතාවයට ලං වෙන්නට අපට වැදගත් වූයේය. ලෝක ටේස්ට් ශූරතා තරගාවලියේ තරගයක් ලෙස තරගය ආරම්භ වන්නේ 18 වැනිදාය.
කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය .
මැච් එක පටන් ගත්තේ 18 ය. ඒ ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ තරගයක් ලෙසය. කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිමේ දී ලකුණු 305කට දැවී ගියේය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් කමිඳු මෙන්ඩිස් ලකුණු 114ක් ලැබුවේය. අවාසනාවන්ත ලෙස කුසල් මෙන්ඩිස් දැවී යනවිට ලකුණු 50ක් රැස් කරගෙනතිබිණි. ඔහු මුල්වරට මැද පෙළ ක්‍රීඩාකළේය. රටේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් සිය ක්‍රිකට් ජිවිතය අභියෝගයට ලක් කළ දිනේෂ් චන්දිමාල් අංක 03 ක්‍රීඩා කළේය. සිය පළමු අත්හදා බැලිමේ දී චන්දි ලකුණු 30ක් ලැබුවේය. ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 305කට දැවී ගියේය. ශ්‍රී ලංකා මුල් ඉනිම කුඩු කළ විලියම් ඕ’රූක් ලකුණු 55කට කඩුලු 05ක් ලැබුවේය.

පිළිතුරු ඉනිම ලෙස නවසීලන්ත කණ්ඩායම ලකුණු 340ක් දක්වා ගියේය. ආරම්භක පිතිකරු ටොම් ලැතම් ලකුණු 70කි. හිටපු නායක කෙන් විලියම්සන් ලකුණු 55කි. ඩැරිල් මිචෙල් ලකුණු 57කි. අවසන් මොහොතේ බලාපොරොත්තු රහිත පිතිකරණයක නිරත වෙමින් නවසීලන්ත කණ්ඩායම ලකුණු 340ක් වෙත ඔසවා තැබූ ග්ලෙන් පිලිප් පන්දු 48ක දී නොදැවී ලකුණු 49කි.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 136ට කඩුළු 04ක්, ධනංජය ද සිල්වා ලකුණු 31ට කඩුළු 02ක්, රමේෂ් මෙන්ඩිස් ලකුණු 101කට කඩුළු 3ක් ලැබුවේය.
දෙවැනි ඉනිම
නවසීලන්ත කණ්ඩායම ලකුණු 340කට දැවී ගොස් ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම අරඹන්නේ තුන්වැනි දිනයේ දීය. ශ්‍රී ලංකා කණ්ඩායම හිටියේ ලකුණු 35ක් පසුපසිනි.
තුන්වන දිනය 20 වැනිදාය. එදින ශ්‍රි ලංකා කණ්ඩායම තරගය නිමා කරන්නේ ලකුණු 237කට කඩුළු 04ක් දැවී ගොස් තිබිය දී ය. මැතිව්ස් නොදැවී ලකුණු 34ක් ද ධනංජය ද සිල්වා ලකුණු 34ක් ද සහිතව නොදැවී කඩුල්ලේ සිටියේය.
තුන්වන දිනය දක්වා තණ තීරුව හැසිරුනේ ඉතිහාසයේ ගාලු තණ තීරුවක් හැසිරුන ආකාරයට නොවේ. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම කඩුළු ප්‍රමාණයක් බිඳ වැටී තිබුණේ නවසීලන්ත වේග පන්දු යවන විලියම් ඕ’ රූක්ගේ පන්දුකරණය ඉදිරියේ දී ය. මුල් ඉනිමේ ඔහු කඩුළු 05ක් බිඳ දැම්මේය. තුන්වන දිනයේ තරගය නිමා කරන විට දැවී ගිය කඩුළු 04න් කඩුළු 03ක්ම බිඳ දැම්මේ ඕ’රූක් ය.

එහෙත් සිවුවන දිනයේ තණතිරුව දඟ පන්දු යවන්නට හැරුණේය. ඊයේ මැච් එක ගැහුවේ අප දන්නා ගාලු තණ තීරුවේ ගති ලක්ෂණ සහිතවය. පන්දුව සැපට කැපුනේය. ඊයේ ශ්‍රී ලංකා ඉනිම සුන් කළේ නවසීලන්ත දඟ පන්දු යවන්නාය. අජාස් පටෙල් ඉතිරි කඩුළු 6ම දවා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම 309කට සීමා වුනේය. අවසන් කඩුළු 6 ලකුණු 72කට දැවී ගියේය. අජාස් පටෙල් ලකුණු 90කට කඩුළු 06ක් ලැබුවේය. ඔහු පසුපස ගාල්ලේ වික්‍රමාන්විත දඟපන්දු පුරාවෘතය වූ රංගන හේරත් හිටියේය. ඊයේ එකම වේග පන්දු යවන්නෙක්වත් කඩුළු දවා ගත්තේ නැත. දඟ පන්දුවට හික්මුනේ නැති තුන්වන දිනයේ තණ තීරුවේ දී විලියම් ඕ’රුක් ලබා ගත් කඩුළු 03ත් මිචෙල් සැන්ට්නර් ලබා ගත් කඩුල්ලත් පමණක් ඔවුන් සතුව තිබිණි.
ධනංජය ද සිල්වා ලකුණු 40කට දැවී ගියේය. මැතිව්ස් අර්ධ ශතකය සම්පූර්ණ කළේය. ලකුණු 50 දී දැවී ගියේය. කුසල් මෙන්ඩිස් පසුපෙළින් පැමිණ රැස් කළේ ලකුණු 23කි. තුන් ඉරියව් දඟ පන්දු යවන්නා රමේෂ් මෙන්ඩිස් ලකුණට දැවුනේය. ප්‍රභාත් ජයසූරිය ලකුණු 11ක් ලැබුවේය . අතිරේක ලකුණු 25කි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 309කට දැවි ගියේය. නවසීලන්ත කණ්ඩායමට අප ලබා දුන් ජයග්‍රාහී ඉලක්කය ලකුණු 275කි.
දඟ පන්දුකරණයට පෙරළුන ගාල්ලේ තණ තිරුවේ ලකුණු 275ක් යනු ලොවෙත් ගහන්නට බැරි ඉලක්කයකි. අපේ අත් දැකීම වූයේ එයය. එහෙත් නවසීලන්ත පිතිකරුවෝ අත් නොහරින ගේමකට බැස සිටියහ.

ආරම්භක පිතිකරු ටොම් ලැතම් ලකුණු 28කට, අංක තුන පිතිකරු කේන් විලියම්සන් ලකුණු 30කට, කඩුළු රකින ක්‍රීඩක ටොම් බ්ලන්ඩර් ලකුණු 30කට දැවී ගියේය. ඩෙවොන් කොන්වේ ලකුණු 4කි. ඩැරිල් මිෂෙල් ලකුණු 08කි. ග්ලෙන් පිලිප්ස් ලකුණු 4කි. මිචෙල් සැන්ට්නර් සහ ටිම් සවුති ලකුණු 2 බැගිනි. නවසීලන්ත ඉනිම ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ ප්‍රහාරයට ලක්ව තිබුණේය.
එහෙත් රචින් රවින්ද්‍ර එක් අන්තයක් අල්ලාගෙන විශ්වාස කළ නොහැකි පෞරුෂයක් ප්‍රකට කරමින් ක්‍රීඩා කරමින් සිටියේය. ඔහු නොදැවී ලකුණු 91ක් සහිතව ඊයේ දිනය නිමා කළේය. ඊට හතරේ පහර 09කි. එක් හයේ පහරකි. පන්දු 158කට ඔහු මුහුණ දී සිටියේය.
අද තරගය ආරම්භ කරන විට නවසීලන්ත කණ්ඩාම ලකුණු 207ට කඩුළු 08කි. අප ජයග්‍රහණයේ වැඩි වාසි සහිතව බව සැබෑය. ජයග්‍රහණය වෙනුවෙන් නවසීලන්ත කණඩායම ලකුණු 68ක් ලබා ගත යුතුය. ඉතිරිව ඉන්නේ දඟ පන්දු දෙන්නාවන අජාස් පටෙල් සහ විලියම් ඕ’රූක් පමණි. එක් අන්තයක රචින් රවීන්ද්‍ර නොදැවි ලකුණු 91ක් සමග නැංගුරම් ලාගෙනය.
එහෙත් තරගය අද ආරම්භ වී පන්දු ඕවර 04ක් තුළ නවසීලන්තය ලකුණු 211කට දැවී ගියේය. අපි ලකුණු 63කින් දිනුම්ය. ඒ ආශ්වාදය රට තුළ සිදුවෙමින් ඇති වෙනස දෙස බලාපොරොත්තු සහිව බලා ඉන්නා පිරිසගේ සතුට මහා විශාල එකක් කරන්නේය.







