නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයාගේ ඇඟ බේරා ගැනීමේ කලාවේ ගැලවුම් කාරයා මහේල ජයවර්ධනය. මහේල ජයවර්ධන ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස මුලින්ම නාමල් රාජපක්ෂ ඇමතිවරයා විසින් පත් කළේ සහායට කුමාර් සංගක්කාරද එයට ඇතුළත් කරය. මේ ක්‍රීඩා සභාව පත් කර වසර එකහමාරක් ගත වී ඇතත් ක්‍රීඩාවේ උන්නතියට මෙතෙක් ඉන් ඉටු වූ කෙංගෙඩියක් නැත. සිදුවන්නේ ඉඳ හිට සිදු කෙරෙන සූම් මීටින් පමණි.
ක්‍රීඩා පණත සංශෝධනය කිරීම මේ සහාවට පැනවුණු ප්‍රධානම කටයුත්තකි. මුලදීම මේ සඳහා වසරක් ගත වන බව මහේල ප්‍රකාශ කළද වසර එකහමාරක් ගතවී ඇතත් තවම එය සාකච්ඡා මට්ටමේය. ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීම නාමල් ඇමතිවරයා මහේලට පැවරුණු අනෙක් ප්‍රධාන කටයුත්තය.
ඒ අනුව ක්‍රිකට් බලධාරින්ට උපදෙස් දීම සඳහා මහේලගේ නිර්දේශයෙන් අරවින්ද ද සිල්වා( සභාපති) මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර යන අයගෙන් සමන්විත ක්‍රිකට් උපදේශන මණ්ඩලයක්ද පත් කරනු ලැබීය. මුරලිදරන්ගේ උවමනාවට ටොම් මූඩි උපදේශකයකු බවට පත් කරන ලද්දේ වසරකට දින සියයක් පමණක් වැඩ කිරීමට හැකි කොන්දේසියක් සහිතව කෝටි ගණනක කොන්ත්‍රාත්තුවක් පිරිනමමිනි. මේ සියලු උපදේශකයන් ඇතිවත් තවමත් ශ්‍රී ලංකා පිලට ප්‍රධාන පුහුණුකරුවකු නොමැත.
ප්‍රධානම තරගාවලි දෙකකට ඕස්ට්‍රේලියාවට හා ඉන්දියාවට ගියේ තාවකාලික පුහුණුකරුවකු හා තාවකාලික කළමනාකරුවකු සමගය. තමන් විසින්ම තමන්වම පුහුණු උපදේශකයකු ලෙස ක්‍රිකට් ආයතනයේ වැටුප් ලැයිස්තුවට එක් කරවා ගත් මහේල කණ්ඩායම සමග එක්වූයේ ලෝක කුසලාන තරගාවලියේ සුදුසු කම් ලැබීමේ වටයේ තරග කිහිපයකට පමණි. ඒ සඳහා ඔහු ඇමරිකානු ඩොලර් 15,000ක් ක්‍රිකට් ආයතනයෙන් ලබා ගත්තේය.
ඉන්පසු අවුරුදු 19 න් පහළ ලෝක සූරතාවට ශ්‍රී ලංකා පිල සමග කොදෙව් බලා ගියද ඉන් ශ්‍රී ලංකා පිල ලැබුවේ හය වැනි ස්ථානයයි. දැන් ඔහු ජනවාරි මස සිට වසරක කාලයක් සඳහා සියලුම කණ්ඩායම්වල උපදේශක ලෙස පත් වීමක් ලබා ගත්තේය. ඒ සඳහා මාසික වැටුප ඩොලර් 18,000 කි. එය දළ වශයෙන් රුපියල් හතලිස් හය ලක්ෂයකි. එය කජු ඇට කොස් ඇට නොවේ.
එහෙත් මේවන විට මහේල ඉන්නේ ඉන්දියාවේය. මාස තුනකට එහි ගොස් ඇත්තේ මුම්බායි ඉන්දියන් පිල IPLතරගාවලියේ පුහුණු කිරීමටය. එය අවසන් වූ පසු ඔහු එංගලන්තයේ තරගාවලියකට යයි. ඒ අතර සූම් තාක්ෂණයෙන් ක්‍රීඩා සභාවේ වැඩත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක වැඩත් කරයි. ලක්ෂ හතලිස් හයක මාසික වැටුපද ලබයි. ක්‍රීඩා පණතට අනුව ක්‍රීඩා සභාවේ අයකුට පුහුණුකරුවකු හෝ ක්‍රීඩා සංගමයක වැටුපක් ලැබිය නොහැක. මහේල මෙතරම් නීති විරෝධී වැඩක් කරද්දී ක්‍රීඩා ඇමතිවරයා එය නොදැක්කා සේ සිටී.
අපේ රටේ ක්‍රිකට් හැදිල්ල කෙසේ වෙතත් මහේලත්, මුරලිදරනුත්, සංගක්කාරත්, ටොම් මූඩ්ත් ,ලසිත් මාලිංගත් දැන් IPL වලට මුල් තැන දෙමින් මාස තුනකට ඉන්දියාවට ගොසින් ය.
අපි දවස් පහේ ටෙස්ට් තරග දවස් තුනෙන් ඉවර කරමින් සිටින්නෙමු. ෂම්මි සිල්වා ප්රමුඛ ක්‍රිකට් විධායක සභාවත් මහේලලාට, අරවින්දලාට හා ඔවුන් පත්කළ නාමල් ඇමතිවරයාට බියෙන් උඩ බලාගෙන සිටිති. කියන කියන දේ කරති. ඒ අතර තම තමන්ගේ ව්‍යාපෘතිද ඔය අස්සේම කර ගනිති. කෙළවෙලා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටය.