ඊයේ රාත්‍රිය ගෙවී ගියේ වචනයක් ලියාගත නොහැකි පීඩනයක් සහිතවය. දඹුල්ලට රැස්වී ගස් අතුවල එල්ලීගෙන මැච් එක බලන්න පැමිණි ආදරණීය මිනිස්සු පවුය.
අප හැම විටම කියන කතාවක් තිබේ. පරාජය පිළිගත හැකිය. එහෙත් එය පිළිගත හැකි පරාජයක් විය යුතුය. එක තරගයක පට්ට පලු යන්න දිනනකොට අනෙක් තරගය හිතාගන්නටත් බැරි තරම් කුජීත වි පරදින්නට අප මේ බූරු ගහනවා නොවේ. රටක් නියෝජනය කිරීම සඳහා තෝරාගත් රස්සාවට ක්‍රිකට් ගහන සෙට් එකක් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාව පැත්තකට තබා පිච් එක මැද බූරු ගහනවා බලන්නට සිදුවීමේ ඛේදවාචකය කොපමණදැයි මේ රටේ ක්‍රිකට්වලට ආදරය කරන මිනිස්සුන්ගෙන් අසා දැනගත යුතුය. මේ කුණුහරපය කුමක්දැයි තේරෙන බාසාවෙන් කියා දෙන මෙන් චරිත් අසලංකට ආරාධනා කරමු.
ඊයේ මැච් එක බැලුවා නම් තව සති දෙකකින් මෙරට සංචාරයක් සැලසුම් කරමින් සිටින බව කියන ඉන්දියාව ගෙදරට වී ක්ලබ් මැච් එකක් ගහන් ඉඳීම වඩාත් යහපත් බව නොසිතනවා පුදුමය. කාසියේ වාසිය දිනාගෙන පන්දුවට පහරදීමට ආරාධනා කළ ශ්‍රී ලංකා කණ්ඩායම බංගලියන්ගෙන් අප්‍රමාණ ලෙස ගුටි කෑවේය. ලකුණු 177ක ඉලක්කයක් හඹා ගිය අප ලකුණු 100ක් ලබා ගත්තේ නැත. පන්දු ඕවර 15ක් තුළ දී ලකුණු 94කට සියල්ලෝ දැවී ගියහ. පැත්මු නිශ්ශංක ලකුණු 32කි. දසුන් ශානක ලකුණු 20කි. අනෙක් එකෙක්වත් ලකුණු 10 ඉක්මවූයේ නැත. බංගලාදේශය ස්වකීය පිට පිට අන්තර්ජාතික එක් දින තරග 06ක පරාජය, ලකුණු 83කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් ලැබු වාර්තාගත ජයග්‍රහණයකින් අනතුරුව නිමා කළේය.

තරග තුනක තරගාවලිය 1-1ක් ලෙස සමානය.
මුලින්ම පන්දුවට පහර දුන් බංගලි කණ්ඩායම වෙනුවෙන් ලිටන් දාස් පන්දු 50 කින් ලකුණු 76 ක් ලබා ගත්තේය. ඔහු අර්ධ ශතකයක් නොමැතිව තරග 13 ක් පසුකර පැමිණ අවසානයේ අපට රිදෙන්න ගුටි දී සිය රිද්මය සොයා ගත්තේය.
අනතුරුව ලංකාව කුඩු කළේ ෂමිම් හොසේන්ගේ විනාශකාරී ලකුණු 48 ය. ඊට පන්දු 27කි. හතරේ පහර 05කි. එක් හයේ පහරකි. කණ්ඩායමට ලකුණක් ලබා දීම වෙනුවෙන් ඔහු සිය අර්ධ ශතකය කැප කරන ආකාර දුටුවෙමු. මැද පෙළ ශක්තිය කුමක්දැයි ඔහු පෙන්නුවේය.
ලකුණු 178 ක් හඹා ගිය ශ්‍රී ලංකාවේ ඉදිරි පෙළ පිතිකරුවන් බිඳ වැටුන ආකාරය දරා ගත්තාට දඹුල්ලේ මිනිසුන්ට තෑග්ගක් දිය යුතුය. පන්දු යැවීමෙන් මෙන්ම සහ පිටියේ පන්දු රැකීමෙන් ද බංගලාදේශ කණ්ඩායම ප්‍රකට කළ තරගකාරීත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇප කැන්සල් කළේය. 12 වන ඕවරයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 73 ක් පමණක් ලබා සිටියදී අවසන් පිළිගත් පිතිකරුවා දසුන් ශානක දැවී ගියේය. ශ්‍රී ලංකා ඉනිම ඕවර 15.2 කට සීමා විය.
ෂමිම්ගේ දස්කම්

පැවතියේ පිතිකරණයට උචිත තණ තීරුවකි. එහෙත් බංගාලාදේශ ආරම්භක පිතිකරුවන් දෙදෙනා තම කඩුලු විසි කළහ. ලකුණු 07ට කඩුළු 02ක් බිඳ වැටුනේය. අනතුරුව ලිටන් දස් සහ ටවුහිඩ් හ්‍රිඩෝයි කණ්ඩායම බිඳවැටීම වළක්වා ගනිමින් විශාල පදනමක් දැමුහ. තුන්වන කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා ගොඩනැගු සම්බන්ධතාවය ලකුණු 69කි. ලකුණු 76 දී හිඩ්‍රෝයි ලකුණු 31කට දැවී ගියේය. එහෙත් එක් අන්තයක් රැකගෙන නායක ලිටොන් දාස් සිටියේය. ඔහු සමග එක්ව 5වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේය. ඒ සම්බන්ධතාවය තරගයේ හැඩය මුලුමනින්ම වෙනස් කර බංගලාදේශය දෙසට හරවා ගත්තේය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ හඹා යාම කඩාකප්පල් කිරීමේ තීරණාත්මක සාධය වූයේ ෂමිම් ය. ඔහු විශිෂ්ඨ පන්දු රැකීමකින් කුසල් මෙන්ඩිස් දුවද්දී දවා ගත්තේය. ඒ පන්දුව කෙලින්ම කඩුල්ල වෙත යොමු කිරීමෙනි. එමෙන්ම ෂම්මි හොසේන් අවිෂ්ක ප්‍රනාන්දු ඉවත් කිරීමට රැක ගත් විශිෂඨ උඩපන්දුවත් එවැන්නකි.
ලිටන් දාස්
ලිටන් මේ වසරේ පසුගිය කාලය පුරාම විස්සයි 20 තරග රටාවට කිසිදු විශිෂ්ට ස්වරූපයකින් පැමිණ නොතිබුණි. මේ වසරේ ඔහු දෙවරක් ලකුණු 40ක් බැගින් රැස් කළ බව සැබෑය. නමුත් ලිටන් දාස් ඔහුගේ අවසන් විස්සයි20 ලකුණු 50ට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තේ අවුරුද්දකට පෙරය. එනම් 2024 ජුනි මාසයේදීය. ඔහුගේ නායකයා හොඳම තත්ත්වයේ නොසිටි බව ඔහුගේ පුහුණුකරුට පවා පිළිගැනීමට සිදු විය.
මේ තරගයේ දී ලකුණු 30ක් ලබා සිටිය දී ජෙෆ්රි වැන්ඩර්සේගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස්ට අත් හැරුණ ස්ටප් කිරීමේ අවස්ථාවකින් ලිටන් වරප්‍රසාදයක් ලැබුවේය. ඒ මග හැරුණ අවස්ථාවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට හේතුවක් බව පෙනෙන්නට තිබිණි. දෙවැනි අවස්ථාවත් ඔහු ලැබුවේය. ඒ මිඩොෆ් හි පන්දු රැකි මහීෂ් තීක්ෂණ විසින් අත්හැර දැමූ උඩ පන්දුවකිනි. ඒ වනවිට ඔහු ලකුණු 56කි.
ශ්‍රී ලංකා කණ්ඩායම හඹා යන්නට ගොස් ළදරුවන් මෙන් බිඳ වැටුනේය. එක් අන්තයක් බිඳී යනවිට රිද්මය වෙනස් කරන්නට පැතුම්ට සිදුවිය. අවසානයේ දී පැතුම්ගේ සංයමය බිඳී ගිය මොහොතේ ස්ටම් කිරීමකට හසුවී ඉනිම නිමා කළේය. ලෝකයේ හොඳම කණ්ඩායමකට අභියෝග විය හැකි බව කී මැද පෙළ හිඟන ලෙසින් කුඩු වී ගියේය.
විශිෂ්ට පන්දු රැකීමක් හමුවේ කුසල් අනපේක්ෂිතව දැවී යෑමත් සමග එල්ල වු බංගලි පීඩනය ඉදිරියේ ප්‍රතිප්‍රහාරයක් නොවුනි. අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා හෝ චරිත් අසලංක කළ කිසිවක් නොවීය. චාමික කරුණාරත්න සහ දසුන් ශානක වැනි පහළ පෙළ බලගැන්වීම්කරුවන් දුබල බෙලහීන වන අයුරු දුටුවෙමු. අන්තිමට දඹුල්ලේ ගස්වල නැගගෙන හිටපු උන්ට ඕවර 20ක් බෝලයට ගහන කණ්ඩායමක ක්‍රීඩාව හෝ අහිමි වූයේය.







