ඩුබායි ජාත්‍යාන්තර ක්‍රිඩාංගනයට අද (09) ශ්‍රි ලාංකිකයින් බොහෝ දෙනෙක් ඇවිත් තිබිණි. එහෙත් චමරී කී ලෙසට කිසිම දෙයක් සිද්ධ වුනේ නැත.
අප බිහිසුණු පරාජයකය. අද ඉන්දියාව සමග පැවති තරගයේ දී අප ලකුණු 82ක අන්ත පරාජයක් අත් වින්දේය.

දැන් අප මෙතෙක් පැවති තරග තුනම පරාදය. ආසියානු ශූරයින් ලෙස ලෝක කුසලානයට පැමිනි අප තරග වදින ඛාණ්ඩයේ අන්තිමයා ලෙස ලෝක කුසලාන තරගාවලියෙන් ස්ථිර ලෙසම විසිවී ගොස් ඇත. මේ ලෝක කුසලානයට ක්‍රීඩා කරන්නේ ආසියානු ශූරතාවය දිනාගත් කෙල්ලන් දැයි වටහාගත නොහැකි තරමට මේ තරගාවලිය තුළ අප අසාර්ථකය.
මේ මුළු තරගාවලියේම චමරී අතපත්තු අසාර්ථකය. ඇය ලකුණු 10 සීමාව එකම තරගයකදිවත් ඉක්මවා ගියේ නැතුවා නම් කමක් නැත. චමරි තරග තුනේදීම ලබන ලකුණුවල එකතුව ලකුණු 10ක් පමණි.

තරගාවලියේ එක් අවස්ථාවකවත් පිතිකරණයෙන් අපට ලකුනු 100ක සමස්ථ ලකුණු ගණනක් රැස්කරගන්නට බැරි විය. අප ඒ තරම් බිඳවැටී තිබිණි.
අප විශ්වාසය තැබූ පන්දු යැවීමේ බලඇණියක් තිබිණි. එහෙත් අද විශ්වාස කළ නොහැකි ලෙස ඒ පන්දු යැවීමත් ෆේල්ය.
බිඳ වැටුන බලාපොරොත්තු
අප ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරන්නේ පකිස්ථානය සමගය. ඒ පසුගිය 03 වැනිදා සාජාහි දීය. පකිස්ථානය ලබා දුන් ඉලක්කය ලකුණු 116කි. අප පන්දු ඕවර 20 තුළ ලබා ගන්නේ ලකුණු 85කි. චමරි අතපත්තු ලකුණු 06කි. මැච් එක ලකුණු 31කින් පරාදය.
දෙවැනි තරගය ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන්නේ 05 වැනිදා ය. අප ලකුණු 93කට සීමා වන්නේය. පන්දු 34ක් ඉතිරිව තිබියදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරන්නේය. ඒ කඩුලු 06කිනි. චමරි ලකුණු 03කි.
අද තරගය
අද ඉන්දියාව සමග තරගයේ දී අපි තුන් ඉරියව්වෙන්ම බරපතල විදිහට ෆේල්ය. පන්දු යැවීමත් නන්නත්තාරය. ඉන්දියාවේ කෙල්ලන්ගෙන් මේ තරම් ගුටි කන්නට වෙතැයි අප හිතුවේ නැත.
තරගය පැවැත්වෙන්නේ ඩුබායි අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ ය. කාසියේ වාසිය ඉන්දියාවේය. ඔවුන් පන්දුවට පහරදීම තේරුවේය.
එය අපට උණ ගැනෙන තේරීමක් වූයේය.
මේ තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය අද ඉන්දියාව අපට ගැහුවේය. සම්රිටි මන්දානා ගේ ප්‍රහාරය රූපත් ඇයටත් වඩා ලස්සනය. පන්දු 38කින් ඇය කිසිම තර්ජනයකින් තොරව ලකුනු 50ක් ලබා ගත්තාය. ඉන්දීය නායිකා හර්මන්පීට් කවුර් ගේ ප්‍රහාරය අදහා ගත නොහැකි එකක් විය. ඇය ලකුණු 52ක් නොදැවි ලබන්නී පන්දු 27කිනි. ඊට හතරේ පහර 08කි. එක් හයේ පහරකි. ෂෆායි වර්මා පන්දු 40ක දී ලකුණු 43කි. මුල් කඩුල්ලේ සම්බන්ධතාවය 92කි. ඔවුහු ලකුණු 172ක් ලැබූහ. බිඳි ගියේ කඩුළු 03ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඕවර තුනේදීම වැළලුනේය. පළමු ඕවරයේ දෙවැනි පන්දුවේ දීම විශ්මි ගුණරත්න දැවී යන්නී ඉතාම අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් උඩ පන්දුවක් ලබා දීමෙනි. අනතුරුව චමරී අතපත්තු ලකුණු 01කට දැවී යන්නීය. අංක 03 ක්‍රීඩිකාව වූ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 03කි. කවීෂා දිල්හාරි අනුෂ්කා සංජීවනී සහ අමා කාන්චනා හැර කිසිම ක්‍රීඩිකාවක ලකුණු 10 සීමාව ඉක්මවූයේ නැත.
කවීෂා දිල්හාරි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය ය. ඇය පන්දු 22ක දී ලකුණු 21කි. එක් හතරේ පහරකි. අනුෂ්කා සංජීවනී පන්දු 22ක දී ලකුණු 20කි. හතරේ පහර 02කි. අමා කාන්චනා පන්දු 22ක දී ලකුණු 19කි. හතරේ පහර 02කි. මුළු ශ්‍රී ලංකා ඉනිමටම හතරේ පහර 06කි. එක් හයේ පහරක්වත් නැත.
පන්දුවක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 90කට දැවී ගියහ.
ඉන්දියාව තුන් ඉරියව්වම අතිශයින් තියුණුය. අති විශිෂ්ට පිටියේ පන්දු රැකීමක් අද ඉන්දීය ක්‍රීඩිකාවෝ පෙන්නුම් කළහ. විශිෂ්ට උඩපන්දු තුනක් රැකගන්නවා පෙනුණි.
පන්දු යැවීමේ දී අරුන්දතී රෙඩ්ඩි ලකුණු 19කට කඩුළු 03කි. ආෂා සෝභනාත් ලකුණු 19කට කඩුළු 03කි. රේනුකා සිං ලකුණු 16ට කඩුළු 02කි. ශ්‍රෙයන්කා පටෙල්, දීප්ති ෂර්මා කඩුල්ල බැගින් ලබාගෙනය.
දැන් අපට බේරාගන්නට දෙයක් ඇත්තේම නැත. කණ්ඩායමේ අන්තිමයා ය. ක්‍රීඩා කළ තරග තුනම බිහිසුණු ලෙස පරාදය. දල ලකුණු ලබා ගැනීමේ වේගය ඍණ 2.564කි. ඉතිරිව ඇති නවසීලන්ත තරගය සම්බන්ධවත් මේ තත්ත්වය තුළ බලාපොරොත්තු අත් හැරගැනීම සුදුසුය.
යලිත් ශ්‍රී ලංකා කෙල්ලන්ට බරපතල අභියෝගයක් ඇත. දැන් යළිත් වල පල්ලටම වැටී තිබේ. හැමදාම මැච් දිනන්නට බැරිය. එහෙම ඕනෑත් නැත. එහෙත් මේ විදිහට පරදින්නටත් අවශ්‍ය නැත. දැන් මේ ලෝක කුසලානය අපේ පැත්තෙන් ඉවරය. දැන් වැදගත් වන්නේ මේ අගාධයෙන් යළි ගොඩ එන විදිහ ගැන කල්පනා කිරීමය.







