ලොකු කුමා විසිනි –
මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් වූ වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමට අදාල සැකකාර පොලිස් නිළධාරීන් 06 දෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (21)ඇප මුදා හැරිණි. එහිදී අදාල සැකකාරයින් හට එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකාරයින් 06 දෙනාම මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.
වැලිගම පැලෑන ප්‍රදේශයේදී 2023 දෙසැම්බර් 31 වනදා W 15 හෝටලය ඉදිරිපිටදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ සැකකාර පොලිස් නිළධාරීන් අධිකරණයට බාර වී තිබුණි.
වැඩ අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බන්ධනාගාර ගත කර සිටින්නේද මේ සිද්ධියට අදාලවමය
සැකකාර පොලිස් නිළධාරීන් ඇප මත මුදා හරිමින් මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස සිය නඩු තීන්දුවේ මෙසේ සඳහන් කර තිබේ.
“…අධිකරණයේ නිරීක්ෂණය වන්නේද මෙම ක්‍රියාවලිය තුළදී තමන් සමග දීර්ඝ කාලයක් සේවය කළ සහෝදර නිළධාරියෙකුගේද පොදු අදහසකින් ගත් කළ මනුෂ්‍යකුගේද ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් මෙම එකදු හෝ සැකකරුවකු තම අවම මනුෂ්‍ය වටිනාකම් අවදි කිරීමට කටයුතු කර නැති බවයි. වෘත්තිමය වශයෙන් පොදු මහජනයාගේ යහපත ආරක්ෂා කරනු ලබන වැටුපකට වුවද තම ජීවිතය එම යහපත් අරමුණ වෙනුවෙන් කැප කළ යුතු පොලිස් නිළධාරියකුව සිටිමින් තම සහෝදර නිළධාරියා බේරා ගැනීම වෙනුවෙන් මෙම එකුදු හෝ සැකකරුවකු පෙරට විත් නොතිබීම අතිශය අමානුෂික සහ අපේක්ෂා කළ නෙහැකි මට්ටමේ බරපතල වගවීමේ අසමර්ථතාවයක් ලෙස නිරීක්ෂණය කරමි.
යම් දුෂ් අරමුණක් දරණ ඉහළ මට්ටමේ බලවන්තයකුගේ අනීතික අපේක්ෂාව සිය ස්වාධීන මනුෂ්‍ය වටිනාකම් මත අගය නොකොට අනෙකෙකු වෙනුවෙන් මුදුන්පත් කරවා දීම සඳහා හැඟීම් විරහිත යාන්ත්‍රික ස්වරූපයෙන් ගිනි අවිද අත දරමින් කරනු ලැබූ මැදිහත් වීමේ ඛේදනීය අවසානය වනුයේ මනුෂ්‍ය ජීවිතයක් අහිමි වීමය. එය හුදු මනුෂ්‍ය ජීවිතයක් අහිමි වීමක් පමණක් නොවනුයේ එම ජීවිතය පිටුපස සිටි එම ජීවිතය විසින් රැක බලා ගනු ලැබූ ආදරණීයන් පිරිසකට මෙම මරණය විසින් යලි කවර මිලක් ගෙවා හෝ ප්‍රතිපූරණය කළ නොහැකි අහිමි වීමක්ද තනිවීමක්ද නිර්මාණය කරන නිමාවෙනි. මියගිය නිළධාරියා සමග ගිය අද ඇප ලබා තම ප්‍රියයන් වෙත දරුවන් වෙත නික්ම යන මෙම සැකකරුවන් අතරින් කවරකු හෝ තම හෘද සාක්ෂිය අවදි කොට දුෂ් අරමුණක් වෙනුවෙන් තමන් මෙහෙයවන ලද නීති විරෝධී නියෝගය ඉටු කිරීම ප්‍රතික්ෂේප කරන ලද්දේ නම්, එම අවාසනාවන්ත මරණය වලක්වා ගැනීමට ඉඩතිබුණි.
ධනය බලය හෝ අන් අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා දුෂ් අරමුණක් සහිතව නියෝග නිකුත් කරන කවර තරාතිරමක හෝ තැනැත්තකුගේ අනීතික නියෝගයකට හෝ එරෙහිවීමට තරම් ශක්තියක් සාමාන්‍ය පුරවැසියන් නිර්මාණය කර ගනු ලැබුව හොත් ඉතිහාසයේ සිදූවූ හා අනාගතයේ සිදුවිය හැකි මෙවැනි අවාසනාවන්ත මනුෂ්‍ය ජීවිත අහිමි කිරීම සහ අහිමිවීම් වලක්වා ගත හැකි බව අධිකරණයේ නිරීක්ෂණයයි. මන්ද, අනීතික නියෝග කොන්දේසි විරහිතව හැගීම් විරහිතව සහ සියළු මනුෂ්‍ය වටිනාකම් පසෙක ලා ඉටු කිරීමට කාට හෝ පාවිච්චි වන මිනිසුන් අවසන් වූ පසු අනීතික අරමුණෙහි අනීතික ප්‍රතිඵලය සාක්ෂාත් කර ගැනීමට දුෂ් අරමූණු දරන්නෝ අපොහොසත් වන හෙයිනි. මෙම සැකකරුවන් කවරෙකුට හෝ එවැනි නිවැරිදි දේ වෙනුවෙන් පෙනී සිටීමටත් තීරණය කිරීමටත් මනුෂ්‍යත්වය වෙනුවෙන් හඬ අවදි කරන්නට දක්වනු ලැබූ අපොහොසත් භාවයේත් අවාසනාවන්ත ප්‍රතිඵලය වී ඇත්තේ වටිනා මනුෂ්‍ය ජීවිතයක අහිමි වීම බව සියළුම සැකකරුවන් අවධාරණය කර ගත යුතුය. එවන් ශක්තිමත් භාවයක් එම සැකකරුවන්ට තිබුණේ නම් මියගිය නිළධාරියාගේ දරුවන්ද ප්‍රියයන්ද මෙම සැකකරුවන්ගේ ප්‍රියයන් හා දරුවන් මෙන්ම සතුටින් සිටින බව නොඅනුමානය.
එම සතුට එම දරුවන්ටද ප්‍රියයන්ටද අහිමි කරනු ලැබුයේ වරදට එරෙහිව මනුෂ්‍යත්වයේ නාමයෙන් මිනිසකු ලෙස සිතන්නටද තීරණ ගන්නටද හඬ නගන්නටද මෙම සැකකරුවන් දක්වන ලද අපොහොසත් භාවය විසින්ය යන සමනය කළ නොහැකි හෘද සාක්ෂියේ වේදනාව මෙම නීති කෘත්‍යයෙන් ඔබ්බට වුවද එම සැකකරුවන්ගේ ජීවිතය පුරා පවතිනු ඇතැයි සාමාන්‍ය පුරවැසියකු ලෙස මම සිතමි. එසේ හෙයින් මෙවැනි වරදක් තමන් අතින් හෝ තම පාලනයේ ඇති කවර තරාතිරමකදී හෝ සිදු නොවීමට වග බලා ගත හැකි නම් සහ කවර තත්වයේ හෝ මනුෂ්‍ය ජීවිතවල වටිනාකම සම්බන්ධ මෙම සිදුවීමේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නොව වඩා යහපත් මනුෂ්‍ය ප්‍රවේශයකින් කටයුතු කළ හැක්කේ නම් මෙම වරදේදීද එම සැකකරුවන් පෙළෙන එම හෘද සාක්ෂියේ වේදනාව මදක් හෝ සමනය කර ගැනීමට ඔවුනට හැකියාවක් ලැබෙනු ඇතැයි සැළකිල්ලට ගනිමි. එසේ හෙයින් එම කරුණ මෙම නඩුව ඇප ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් ලෙස යොදා නොගැනීමට තීරණය කරමි
ඒ අනුව ඉහත නියම කරන ලද ඇප කොන්දේසි සම්පූර්ණ කළ පසු මෙම සැකකරුවන් බන්ධනාගාරයෙන් මුදා හැරීමට නියම කරමි
බී.ඒ.අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස
මහේස්ත්‍රාත් ,මාතර
2025.03.21
(උපුටනය අවසන්)
මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බී 6314/23 දරණ මෙම නඩුවේ සැකකරුවන් මෙසේය.
1.හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
2.ප්‍රධාන පොලිස් පරීක්ෂක රම්මුනි යුවේන් ඇන්සලම් ද සිල්වා
3.පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත(මෙම සැකකරු රටින් පැන ගොස් ඇත)
4.පොලිස් පරීක්ෂක හෙට්ටි බස්නායක රාළලාගේ මහේෂ් රුවන් දුනුසිංහ
5.උප පොලිස් පරීක්ෂක කිල්ලපන ලියනගේ රොෂාන් මදුරංඟ
6.අමරකෝන් විදානගමගේ ප්‍රසන්න කුමාර
7.ජයස්පත් ආරච්චිගේ සුපුන් ප්‍රියශාන්
8.අමරසිංහ කලු ආරච්චිගේ දුලිප් ගිහාන් පියතිස්ස
මාතර මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව දුන් දිනය පොලිස් විරු අනුස්මරණ දිනය වේ. උතුවන්කන්දේ සරදියෙල් අත් අඩංගුවට ගැනීමට දරණ ලද ප්‍රයත්නයේදී පොලිස් කොස්තාපල් සභාන් මියගියේ මෙදිනය. මොහු සමාජ විරෝධී තැනැත්තකු අත් අඩංගුවට ගැනීමට යාමේදී මියගිය පළමු පොලිස් නිළධාරියා වේ.
එහෙත් පොලිස් විරු දිනයේදීම මේ පොලිස් නිළධාරීන් අධිකරණයට ඉදිරිපත් කෙරෙන්නේ සිය ඡ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් ඉටු කිරීමට ගොසිනි.
ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී (ධර්මය අනුව හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරයි) යන්න පොලීසියේ තේමා පාඨයයි.මාතර මහේස්ත්‍රාත් වරයා මෙම සැකකරුවන් පිළිබඳව ලබා දුන් තීන්දුව ඒ ධර්ම පාඨය නැවත නැවතත් සිහිපත් කරවන තීන්දුවකි.
සැබැවින්ම එම තීන්දුව මෙරට පොලිස් සේවාවේ නිරත සෑම තරාතිරකම පොලිස් නිළධාරීන්ගේ අවධානයට යොමු කරලීම ඉතා වැදගත්ය. එසේත් නැතහොත් ආධුනික පොලිස් කොස්තාපල් වරුන් පුහුණු කරවන පොලිස් අභ්‍යාස විද්‍යාලයන්හි අධ්‍යයන කටයුතු වලදී ඉගැන්වීම සඳහා යොදා ගැනීමට තරමේ වටිනාකමක් සහිතය.
මෙහිදී ඛලීල් ජිබ්රාන් THE PROPHEL කෘතියේ මේ සඳහන ගලපා ගත හැකිය.
“ඔබට අධර්මිෂ්ඨයන්ගෙන් ධර්මිෂ්ඨයන් වෙන් කළ නොහැකිය.දුෂ්ඨයන්ගෙන් යහපත් තැනැත්තන් වෙන් කළ නොහැකිය. මක් නිසාද කිව හොත් කළු නූල් සුදු නූල් එක්කොට වියුවාක් මෙන් ඔවුන් ඉර අබිමුයෙහි එකට එක්ව නැගී සිටින බැවිනි. කළු නූල කැඩී යන විට රෙදි වියන්නා මුළු රෙද්ද ගැනම අවධානය යොමු කළ යුතු වෙයි. ඔහු වියන යන්ත්‍රයද පරීක්ෂා කළ යුතු වෙයි.”







