යෝෂිත රාජපක්ෂ නීති විරෝධී ලෙස නාවික හමුදාවට බඳවාගෙන රජයේ මුදල් අවභාවිත කරමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා විද්‍යාලයේ විශේෂ පුහුණුවකට යොමු කිරීමේ දූෂණ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් කොමිසම මඟින් මීට පෙර අවස්ථා දෙකකදීම ඔහුව කැඳවා තිබුණි. පසුගිය ජූනි මස 16 වැනිදා සිදුකළ පළමු කැඳවීමේදී අදාළ ලිපිය තමන්ට නොලැබුණු බව පවසමින්ද, ජූනි 22 වැනිදා සිදුකළ දෙවැනි කැඳවීමේදී තමන්ට පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන්ද ඔහු කොමිසම හමුවට පැමිණීම මඟහැර තිබිණි.
ඒ අනුව තෙවැනි අවස්ථාව ලෙස අද (03) දින ඔහු අල්ලස් කොමිසම හමුවට පැමිණි අතර, එහිදී දීර්ඝ ලෙස ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය. පසුව සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම ඇප නියෝගය නිකුත් කළේය.
2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ නැමැත්තා බඳවා ගැනීම සහ එතෙක් පැවැති පටිපාටියට පරිබාහිරව රජයේ මුදල් ගෙවා මෙම පුහුණුව සඳහා සහභාගි කරවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකර ඇති බව අල්ලස් කොමිසම පෙන්වා දෙයි. මෙම සමස්ත නීති විරෝධී ක්‍රියාවලියේ මූලික වගකීම එවකට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ වසන්ත කරන්නාගොඩ යටතේ සිදුවී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.








