උපේක්ෂා උඩුවැරැල්ල –
තමිල්නාඩුවේ සුපිරි නළු විජේගේ නායකත්වයෙන් යුත් නව ‘තමිලග වෙට්ට්‍රි කසාගම්’ (TVK) පක්ෂය බලයට පත්ව මාස දෙකක් ගත වීමටත් මත්තෙන්, එම රජය පෙරළා දැමීම සඳහා දියත් කළ මහා පරිමාණයේ දේශපාලන කුමන්ත්‍රණයක් රාජ්‍ය බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ. රජය අස්ථාවර කිරීමේ මෙම රහස් සැලැස්ම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තමිල්නාඩු දේශපාලන කරළිය මේ හේතුවෙන් දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.
මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ ‘කෝටි 35‘ සැලැස්ම
මෙම කුමන්ත්රණයේ සුලමුල හෙළි වී ඇත්තේ TVK පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන එන්. ඉලෙයිරාජා (N. Elaiyaraja) විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවය. තමන් ඇතුළු TVK මන්ත්‍රීවරුන් 15 දෙනෙකු මුදලට ලබාගෙන, ඔවුන් ලවා ඉල්ලා අස්වීම් ලිපි භාර දී රජය බිඳ වැට්ටවීම සඳහා රුපියල් කෝටි 35ක දැවැන්ත අල්ලස් මුදලක් පිරිනැමීමට කුමන්ත්රණකරුවන් උත්සාහ කර ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ. මෙම සැලසුමට අනුව සභාපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් රජය මුළුමනින්ම අඩපණ කිරීමට ද අපේක්ෂා කර තිබේ.
ප්‍රධාන විපක්ෂය දෙසට ඇඟිල්ල දිගු වෙයි
තමිල්නාඩු බුද්ධි අංශ සිදුකළ කඩිනම් විමර්ශනවලින් පසු අත්අඩංගුවට ගත් පිරිස අතර ප්රමුඛ පෙළේ උපදේශන සමාගමක සේවකයෙකු ද වන බව වාර්තා වේ. එමෙන්ම ප්‍රධාන විරුද්ධ පක්ෂය වන DMK පක්ෂයේ මන්ත්‍රී වී. සෙන්තිල් බාලාජිගේ සහෝදරයා ද මෙම කුමන්ත්රණයේ ප්‍රධානියෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් අධිකාරීන් පුළුල් පරීක්ෂණ අරඹා ඇති අතර ඉදිරියේදී තවත් අත්අඩංගුවට ගැනීම් සිදුවිය හැකි බව ද දන්වා ඇත.
දේශපාලන බලපොරය සහ චෝදනා
මෙම සිදුවීමත් සමඟ TVK සහ DMK පක්ෂ අතර දැඩි දේශපාලන ගැටුමක් නිර්මාණය වී තිබේ.
නීති හා බලශක්ති අමාත්‍ය නිර්මල් කුමාර් ඇතුළු නායකයින් ප්‍රකාශ කරන්නේ මෙය ජනතා වරමින් පත් වූ තම රජයට එරෙහිව DMK පක්ෂය දියත් කළ නින්දිත කුමන්ත්‍රණයක් බවයි.
කෙසේ වුවද DMK පක්ෂය මෙම චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන් පවසන්නේ TVK රජය තමන්ට එරෙහිව දේශපාලන පළිගැනීමක් ලෙස මෙම නඩුව ගොතා ඇති බවයි.
දූෂණයට එරෙහි සටනට එල්ල වූ ප්‍රහාරයක්?
විජේගේ නායකත්වයෙන් යුත් නව රජය බලයට පත්වීමෙන් පසු පෙර පැවති පාලනයන්හි සිදුවූ ටෙන්ඩර් දූෂණ සහ වංචාවලට එරෙහිව දැඩි පියවර ගනිමින් සිටින්නේය. විදේශීය සහ දේශීය දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ රජයේ මෙම දූෂණ විරෝධී වැඩපිළිවෙළ නිසා පැරණි දේශපාලන බලවතුන් කලබලයට පත්ව ඇති බවත්, මන්ත්‍රීවරුන් මුදලට ගැනීම (Horse-trading) හරහා රජය පෙරළීමට උත්සාහ කර ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස බවත්ය.
ෙනව රජය තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටත් පෙර මුහුණ දුන් මෙම පළමු දේශපාලන අර්බුදය තමිල්නාඩුවේ ඉදිරි ස්ථාවරත්වයට කෙසේ බලපානු ඇතිද යන්න පිළිබඳව මුළු ඉන්දියාවේම අවධානය යොමුව තිබේ.









