මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය ධුර කාලය දිගු කර ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය ප්‍රයෝජනයට ගන්නා බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.
කතෝලික ශාසන නීතිය පිළිබඳව ජනතාව නොමඟ යැවීමට දරන පිළිකුල් සහගත උත්සාහයන් සම්බන්ධයෙන් ද සිය අප්‍රසාදය පළ කරමින් කතෝලික රදගුරු සම්මේලනය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති (කුරුණැගල කතෝලික රදගුරු) අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් සහ එහි මහලේකම් (මඩකළපුව අපෝස්තලික පරිපාලක, කොළඹ සහයක රදගුරු) අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ අත්සනින් යුතුව ඊයේ (02) මෙම නිවේදනය නිකුත් කර තිබේ. මෑතක සිට සමාජ මාධ්‍ය ඔස්සේ කාදිනල් හිමිපාණන්ට සහ ඇතැම් පූජාප්‍රසාදීන් වහන්සේලාට අපහාස වන අන්දමින් ද්වේෂසහගත සහ අසත්‍ය මත ප්‍රචාරය කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ දරමින් සිටින බව එම නිවේදනයෙන් පෙන්වා දෙයි.
එම නිවේදනයේ දී 401 වන කැනන් ශාසන නීතිය උපුටා දක්වමින් කරුණු පැහැදිලි කර ඇත. ඒ අනුව, කතෝලික සභාවේ නීතියට අනුව ඕනෑම රදගුරුතුමෙකු වයස අවුරුදු 75 සම්පූර්ණ වූ පසු ශුද්ධෝත්තම පියතුමා වෙත විශ්‍රාම ගැනීමේ ලිපිය භාර දිය යුතුය. විශ්‍රාම ගැනීම නිල වශයෙන් ක්‍රියාත්මක වන දිනය හෝ ධුර කාලය දිගු කිරීම තීරණය කිරීමේ පරම බලය පවතින්නේ අති උතුම් ශුද්ධෝත්තම පියතුමාට පමණි.
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වයස අවුරුදු 75 සපිරූ වහාම ශුද්ධෝත්තම පියතුමා වෙත විශ්‍රාම ගැන්වීමේ ලිපිය යොමු කර ඇත. ඒ සඳහා ශුද්ධෝත්තම පියතුමාගේ අනුමතිය ලැබෙන තුරු සිය ධුරයේ වගකීම් ඉටු කිරීමට උන්වහන්සේ ශාසනිකව බැඳී සිටිති.
“කතෝලික සභාවේ නීති රීති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සහ දේශපාලන ලෝකයේ පවතින බල අරගල කිසි විටක සංසන්දනය කළ නොහැකිය. සාමාන්‍ය සිවිල් නීතියේ බලය සැමවිටෙකම ආණ්ඩුකරණය සමග බැඳී ඇති අතර කතෝලික සභාවේ බලය පවතින්නේ ‘දේව සේවය’ තුළය.” යනුවෙන් ද එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දේශීය මෙන්ම විශ්ව කතෝලික සභාවට සිදුකළ මෙහෙවර අගය කරන බවත්, ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් උන්වහන්සේ ආරම්භයේ සිටම පෙනී සිටින්නේ පිරිසිදු හා අවංක චේතනාවෙන් බවත් රදගුරු මණ්ඩලය පවසයි. ඒ වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකේය කතෝලික ජනතාවගේ සහ රදගුරු මණ්ඩලයේ නොසැලෙන සහයෝගය උන්වහන්සේ වෙත හිමිවන බව ද එම නිවේදනයේ සඳහන් වේ.









