මැදපෙරදිග පවතින යුද වාතාවරණය හමුවේ ඇති විය හැකි ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබා දීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin අවධාරණය කරයි.
මෙරට සංචාරයක නිරත නියෝජ්‍ය අමාත්‍යවරයා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.
ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග පිළිබඳව රුසියාවට මනා අවබෝධයක් ඇති බව පැවසූ Roman Marshavin, බලශක්ති ක්ෂේත්‍රය මෙන්ම තාක්ෂණික හා යන්ත්‍රෝපකරණ ඇතුළු ඕනෑම අංශයකින් සහාය වීමට තම රට සූදානම් බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවෙන් හිමි වූ උණුසුම් පිළිගැනීම අගය කළ ඔහු, මෙම සංචාරය හරහා දෙරටේ දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව ද විශ්වාසය පළ කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක, අතීතයේ සෝවියට් රුසියාව ශ්‍රී ලංකාවට ලබා දුන් තාක්ෂණික හා කාර්මික සහාය මෙරට ආර්ථික හා සමාජ සංවර්ධනයට විශාල පිටුබලයක් වූ බව සිහිපත් කළේය.
මෑතකාලීනව ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන රටක් ලෙස රුසියාව පෙරමුණේ සිටින බවත්, ශ්‍රී ලාංකික සිසුන්ට ලබා දෙන අධ්‍යාපන අවස්ථා මෙන්ම ජාත්‍යන්තරයේදී රුසියාව ලබා දෙන සහායත් ජනාධිපතිවරයා කෘතවේදීව අගය කළේය.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ඇතුළු පිරිසක් ද, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan ඇතුළු රුසියානු නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.







