නම් කර ඇති අති විශේෂ අවස්ථාවලදී හැරුණු විට QR ඛේතය සහිත කාර්ඩ්පවල රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සිදු නොකර තිබෙද්දී තැරැව් කරුවන් පිරිසක් හසුරුවමින් ඔවුන් හරහා පැමිනෙන පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ජාවාරමක් පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙලිදරව් කරයි.
දෙපාර්තමේන්තුවේ ඉහළම තැන්වල දැනුවත් සැලසුම් මත අභ්‍යන්තර නිලධාරීන් කණ්ඩායමක් විසින් කරන මෙම ජවාරමේ දී රියදුරු බලපත්‍රයක් කාර්ඩ්පතක මුද්‍රණය කරගැනීම සඳහා රුපියල් 3000 -5000 මුදලක් එක් පුද්ගලයෙකුගෙන් ලබා ගන්නා බවත් එම ආරංචි මාර්ග පවසයි.
මේ ජාවාරම වෙනුවෙන්ම දෙපාර්තමේන්තුවේ එක්තරා කාන්තාවක් සියලුම වගකීම්වලින් නිදහස් කර අංක 16 දරන කවුළුවේ රාජකාරිය සඳහා යොදවා ඇති බව ද වාර්තා වේ.
ඇය විසින් සිදුකරන්නේ තැරැව්කරුවන්, රියදුරු පුහුණු පාසල්වල හිමිකරුවන් දෙපාර්තමේන්තුවේම අභ්‍යන්තර සේවකයින් විසින් රියදුරු බලපත්‍ර මුද්‍රණය කරගැනීම සඳහා මුදල් ලබාගෙන ගෙන එන ගැනුම්කරුවන්ගේ නාම ලේඛණය ලයිස්තුගත කර අදාල මුදල් ගනුදෙනු විධිමත් කිරීම බවත් දැනගන්නට ඇත.
දිනකට මේ ආකාරයෙන් හොරපාරෙන් මුද්‍රණයවන රියදුරු බපලත්‍ර හත්සියයක් පමණ ප්‍රමාණයක් වන බවත් ජාවාරම් කරුවන් මේ හරහා දිනකට එකතුකරගන්නා සමස්ථ මුදල රුපියල් ලක්ෂ 20 සිට ලක්ෂ 30 දක්වා අගයක් තුළ දෝලනය වන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
මෙම රියදුරු බලපත්‍ර මුද්‍රණ ජාවාරම සිද්ධ වන්නේ ගැනුම්කරුවෙකුගෙන් අය කරගන්නා මුදලින් තුනෙන් එකක් තැරැව්කරුවෙකුට යන ආකාරයට බවත් මේ පසුපස සිටින දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත සෑම ගැනුම්කරුවෙකුගෙන්ම ලැබෙන මුදලින් තුනෙන් දෙකක් පමණ ලැබෙන බවද එම ආරංචි මාර්ග කියයි.
රියදුරු බලපත්‍ර QR කේතය සහිත කාර්ඩ්වල මුද්‍රණය කිරීම තාවකාලිකව අත්හිටවනු ලැබුවේ එම කාර්ඩ්පත් ආනයනය කිරීමට ප්‍රමාණවත් විනිමය රට තුළ නොමැති අවස්ථාවකය.
එහෙත් විදේශගතවීම් වැනි අවස්ථාවල දී අත්‍යාවශ්‍ය රියදුරු බලපත්‍ර නියමිත ක්‍රමවේදයක් තුළ මුද්‍රණය ලබා දීම සඳහා ඒ වනවිට ඉතිරවී තිබූ ලක්ෂ පහක පමණ කාර්ඩ්පත් ප්‍රමාණය කළමනාකරණය කිරීමට රජය තීරණය කර තිබිණි.
මේ වනවිට විදේශගතවන පුද්ගලයින් වෙනුවෙන් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම අවශ්‍යතාවය මත රියදුරු බලපත්‍ර මුද්‍රණය කරමින් ඇති අතර එම ප්‍රමාණය දිනකට උපරිම 300ක සීමාවේ පැවතිනි.
මේ තත්ත්වය තුළ ඇතිවූ පාලනය හේතුවෙන් රියදුරු බලපත්‍ර කාර්ඩ්පත් ලබා ගැනීම සඳහා ලක්ෂ 09ක පමණ පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටිති.
මේ මොහොතේ රියදුරු බපලත්‍ර මුද්‍රණය කර ලබා ගැනීමේ දැඩි අවශ්‍යතාවය මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරින් පිරිසක් සංවිධානය කර ඇත කල්ලියක් විසින් එය මහා ධනෝපායන මාර්ගයක් බවට පත් කරගෙන ඇති ආකාරය අභ්‍යන්තර ආරංචි මාර්ග තව දුරටත් හෙලි කරයි.
මේ ජාවාරම හරහා දෙපාර්තමේන්තුවෙ සමහර ඉහළ නිලධාරීන් සතියකට ලක්ෂ 25ක පමණ මුදලක් උපයා ගන්නා බවත් වාර්තා වේ.
එමෙන්ම මෙම ජාවාරම පසුපස සිටින ඇතැම් නිලධාරීන් තමන්ට ලැබෙන ස්ථාන මාරුවීම්වලට එරෙහිව නඩු කියමින් ආයතනය තුළම රැඳි සිටීමට බරපතල උත්සාහයක් දරන බවද දැනගන්නට ඇත.
මේ සම්බන්ධව මුල් අවස්ථාවේ මාධ්‍යවලින් හෙළිදරව් වීමත් සමග යම් පමණකට පාලනය වී තිබුණ ද යළිත් ජාවාරම පෙරටත් වඩා සංවිධානාත්මකව ආරම්භ වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.