කපිල කේ හීනටියන –
අද සිට ශ්‍රී ලංකාවේ PayPal වේදිකාව ගෙවීම් සහ ලැබීම් සඳහා මුලුමනින්ම විවෘත වන්නේය. ඒ මෙතෙක් පැවති සීමා ඉවත් කරමින්ි. PayPal සේවා පහසුකම පුළුල් කිරීමේ නිල උත්සවය අද (16) පෙරවරුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වුනේය.
PayPal පහසුකම ලංකාවට ඉතාම පහසුවෙන් ලබා ගත් අවස්ථාවක් නොවේ. උත්සව සභාව අමතමින් මහබැංකු අධිපති නන්නදලාල් වීරසිංහ තමන්ගේ අත්දැකීම රටට කීවේය.
“වසර ගණනාවකට පෙර සිංගප්පූරුවේ පැවති FinTech උළෙලෙහිදී මා ප්‍රථම වරට PayPal හි ප්‍රධාන විධායක නිලධාරීවරයා (CEO) සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළා. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාව ශක්‍යතා සහිත ව්‍යාපාරික අවස්ථාවක් ලෙස ඔවුන් දුටුවේ නැහැ. ඒත් අද වන විට PayPal ආයතනය ශ්‍රී ලංකාවේ විභවය හඳුනා ගෙන තිබීම පිළිබඳව මට සතුටුයි.”
“මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ ගමනේ වැදගත් පියවරක්. සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මෙන්ම බැංකු ක්ෂේත්‍රයද ජයග්‍රහණය කරවන (Win-Win) තත්ත්වයක්. වර්තමාන ලෝකයේ ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන් භූගෝලීය සීමාවන්ට පමණක් කොටු වී නැතත්, ශ්‍රී ලංකාවේ නිදහස් වෘත්තිකයන්, ව්‍යවසායකයන් සහ අපනයනකරුවන් මුහුණ දුන් විශාලතම අභියෝගයක් වූයේ ජාත්‍යන්තර ගෙවීම් කාර්යක්ෂමව ලබා ගැනීමේ අපහසුවයි.” PayPal හරහා අද සිට එම බාධකය ඉවත් වෙන්නේය.
මොකක්ද මේ PayPal
1998 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ආරම්භ කරන ලද PayPal යනු වර්තමානය වන විට ලොව ප්‍රමුඛතම සහ විශාලතම ඩිජිටල් ගෙවීම් වේදිකාවයි. මෙය සරලවම අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු කිරීම සඳහා භාවිතා කරන “ඩිජිටල් පසුම්බියක්” ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා රටවල් 200කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇති මෙම පද්ධතිය, මිලියන 430කට අධික පරිශීලකයින් පිරිසක් භාවිතා කරන අතර වාර්ෂිකව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5කට වඩා වැඩි දැවැන්ත ගනුදෙනු පරිමාවක් කළමනාකරණය කරයි. ලෝකයේ ඕනෑම තැනක සිටින පුද්ගලයෙකුට හෝ ව්‍යාපාරයකට තත්පර කිහිපයක් ඇතුළත ආරක්ෂිතව මුදල් යැවීමට සහ ලබා ගැනීමට ඇති හැකියාව නිසාම, මෙය ජාත්‍යන්තර ඊ-වාණිජ්‍ය (e-commerce) සහ නිදහස් වෘත්තීය (Freelance) ක්ෂේත්‍රයේ විශ්වාසදායකම ගෙවීම් ක්‍රමය බවට පත්ව තිබේ.
PayPal පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඉතා සරල වන අතර, ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ විද්‍යුත් තැපැල් ලිපිනය (Email) පමණක් භාවිතා කරමින් පහසුවෙන් ගිණුමක් විවෘත කළ හැකිය. මෙහි ඇති විශේෂත්වය වන්නේ පාරිභෝගිකයාගේ පුද්ගලික බැංකු ගිණුමක්, හර පතක් (Debit Card) හෝ ණය පතක් (Credit Card) මෙම PayPal ගිණුම සමඟ සම්බන්ධ කර තිබීමය.
යම් සේවාවක් සඳහා ගෙවීමක් කිරීමේදී හෝ ජාත්‍යන්තර සේවාදායකයෙකුගෙන් මුදල් ලබා ගැනීමේදී, ඔබගේ බැංකු ගිණුම් අංක හෝ කාඩ්පත් තොරතුරු අදාළ පාර්ශවයට හෙළි නොකර, විද්‍යුත් තැපැල් ලිපිනය පමණක් හුවමාරු කර ගනිමින් ගනුදෙනුව සම්පූර්ණ කළ හැකිය. දැන් ශ්‍රී ලංකාවට ලැබී ඇති නව පහසුකම් යටතේ, මෙලෙස PayPal ගිණුමට ලැබෙන මුදල් සෘජුවම ලංකාවේ අනුමත බැංකු ගිණුම් වෙත මාරු කර ලබා ගැනීමේ හැකියාව ද හිමි වේ.
ආරක්ෂාව අතින් PayPal පද්ධතිය ලොව ඉහළම මට්ටමේ තාක්ෂණික ආරක්ෂණ ක්‍රමවේද භාවිතා කරයි. ගනුදෙනුකරුවන්ගේ සංවේදී බැංකු තොරතුරු ඉතාම රහසිගතව තබා ගන්නා අතර, සෑම ගනුදෙනුවක්ම නවීන දත්ත ගුප්තකරණ (Encryption) තාක්ෂණය හරහා ආරක්ෂා කරනු ලබයි. මීට අමතරව, “ගැනුම්කරු ආරක්ෂා කිරීමේ” (Buyer Protection) සහ “විකුණුම්කරු ආරක්ෂා කිරීමේ” (Seller Protection) වැඩපිළිවෙළ හරහා අන්තර්ජාලය ඔස්සේ සිදුවිය හැකි වංචාවන්ගෙන් සිය පරිශීලකයින් ආරක්ෂා කිරීමට PayPal පියවර ගනී.
යම් හෙයකින් ඇණවුම් කළ භාණ්ඩයක් නොලැබුණහොත් හෝ ලබාගත් සේවාවක දෝෂයක් ඇත්නම්, ඒ පිළිබඳව පැමිණිලි කර මුදල් ආපසු ලබා ගැනීමේ විධිමත් යාන්ත්‍රණයක් පවතින බැවින්, මෙය ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවගේ ඉහළම විශ්වාසය දිනාගත් පද්ධතියක් බවට පත්ව ඇත.
ඓතිහාසික වෙනස සහ එහි වැදගත්කම
ලංකාවේ මේ සේවාව ක්‍රියාත්මක වන්නේ වසර දොළහකට අධික කාලයක් පුරා පැවති සාකච්ඡා සහ විවිධ උත්සාහයන්ගෙන් අනතුරුවය . මෙතෙක් කාලයක් ශ්‍රී ලංකාවේ PayPal ගිණුම් ක්‍රියාත්මක වූයේ “මුදල් යැවීමට පමණක්” (Send Only) හැකි වන පරිදිය. එමඟින් විදේශයන්ට ගෙවීම් කළ හැකි වුවද, ජාත්‍යන්තර සේවාදායකයන්ගෙන් මෙරටට මුදල් ලබා ගැනීමට නොහැකි වීම නිදහස් වෘත්තිකයන්ට (Freelancers) සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට දැඩි බාධාවක් විය.
මෙම නව පහසුකම හරහා:
- අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන්නන්ට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තම ඉපයීම් සෘජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබාගත හැකිය.
- මෙරටට ලැබෙන නිල විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යනු ඇත.
- තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, ආරම්භක ව්‍යාපාර (Startups) සහ ඊ-වාණිජ්‍ය (e-commerce) ක්ෂේත්‍ර සඳහා සුවිශේෂී පරිවර්තනයක් සිදුවනු ඇත.
සම්බන්ධ වී ඇති බැංකු පද්ධතිය
ආරම්භයක් ලෙස මෙම සේවාවන් පහත සඳහන් බැංකු හරහා ක්‍රියාත්මක වේ:
- ලංකා බැංකුව (BOC)
- කොමර්ෂල් බැංකුව
- සම්පත් බැංකුව
- ඉදිරි කාලයේදී අනෙකුත් බැංකුද මෙම ක්‍රියාවලිය සමඟ එක්වීමට නියමිතය.
මේ අවස්ථාවේ මූලිකත්වය ගත් අග්‍රාමාත්‍ය හරිනී අමරසුරිය පැවසුවේ මේ ගත කරන්නේ සැබෑ ලෙසම අනුස්මරණීය මොහොතක් බවය.

මෙහි දී අදහස් දැක්වූ අගමැතිනිය පැවසුවේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය තුළ PayPal සේවා ව්‍යාප්ත කිරීමට අවකාශය ලැබීම රටේ ආර්ථික වර්ධනයට මෙන්ම රැකියා උත්පාදනයට සෘජුවම දායක වන බවය. විශේෂයෙන්ම මෙරට සිටින දක්ෂ නිදහස් වෘත්තිකයන්ට (Freelancers) සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට (SME) විනිවිදභාවයෙන් යුතු, සුරක්ෂිත සහ වගකීම් සහගත ගෝලීය මූල්‍ය පද්ධතියක් සමඟ සම්බන්ධ වීමට ලැබීම තුළින් ඔවුන්ගේ වෘත්තීය අනන්‍යතාව ජාත්‍යන්තර මට්ටමින් තහවුරු වන බවත්, ඉදිරි වසර කිහිපය තුළ මෙම ක්ෂේත්‍රය ශීඝ්‍ර ව්‍යාප්තියක් කරා ගමන් කරනු ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
රජයේ ආර්ථික සැලැස්ම සාධාරණත්වය, විනිවිදභාවය සහ වගවීම යන මූලික ප්‍රතිපත්ති මත ගොඩනැඟී ඇති බවත්, ඩිජිටල් පරිවර්තනය හරහා දිගුකාලීනව පවතින සමාජ අසාධාරණත්වය සහ ආර්ථික අසමානතාව වැනි ගැටලුවලට විසඳුම් සෙවිය යුතු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම සංවර්ධන ක්‍රියාවලිය සැමට ප්‍රතිලාභ හිමිවන, සමාජීය වශයෙන් වගකීම් සහගත එකක් විය යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, නව තාක්ෂණය සමඟ පෙරමුණ ගන්නා තරුණ පරපුරේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව කලාපීය සහ ගෝලීය වශයෙන් ශක්තිමත් මෙන්ම විශ්වාසදායී රටක් ලෙස ස්ථානගත වනු ඇතැයි ද බලාපොරොත්තු පළ කළාය.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, PayPal හි ඉන්දියාව සහ දකුණු ආසියාව පිළිබඳ සංස්ථාපිත කටයුතු අධ්‍යක්ෂ නාත් පරමේෂ්වරන් (Nath Parameshwaran), PayPal හි ජාත්‍යන්තර දේශසීමා අතර වෙළෙඳාම පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ආසියා පැසිෆික් කලාපීය සාමාන්‍යාධිකාරී නාඩියා සයීඩ් (Nadia Syed) ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරි, වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි වයි. ඒ. ජයතිලක, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග, සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සංජය ප්‍රදීප් ගුණවර්ධන මෙම අවස්ථාව ඇමතූහ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ගෝමික උඩුගමසූරිය, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක හාන්ස් විජේසූරිය, පර්යේෂණ සහ සංවර්ධන වාණිජ්‍යකරණ ජාතික ප්‍රවේශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත සෙනරත් යාපා සහ අමාත්‍යාංශ ලේකම්වරුද, මූල්‍ය ආයතන ප්‍රධානීහු, රාජ්‍ය නිලධාරීහු, කර්මාන්තකරුවෝ, ව්‍යවසායකයෝ සහ බැංකු ප්‍රධානීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.







